පෞද්ගලික අංශයෙන් විදුලියට එළියක් | දිනමිණ

පෞද්ගලික අංශයෙන් විදුලියට එළියක්

බොහෝ දියුණු රටවල සිදු කෙරෙනුයේ රජයෙන් විදුලි බලාගාර ඇති කිරීම වෙනුවට පෞද්ගලික ආයෝජකයින්ට ඉඩදීම ය. ජලවිදුලි බලාගාර ඇති කිරීමේදී ජලවිදුලිය ලබාගැනීම පමණක් නොව කෘෂිකාර්මික අරමුණු ද මුල් වන බැවින් එහිදී රජය පෙරමුණ ගැනීම වැදගත් වුවද ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) බලාගාර ස්ථාපිත කිරීමේ දී වඩා වැඩදායී සහ කාර්යක්ෂම වන්නේ ගිවිසුමක් මත පෞද්ගලික ආයෝජකයන්ට ඉඩ ලබාදී, උත්පාදනය කරන විදුලිය රජය විසින් මිලදී ගැනීම ය.

වර්තමානය වන විට විදුලිය එදිනෙදා කටයුතු සමඟ ප්‍රබල සබඳතාවක් ඇති කරගත් බලශක්තියක් බවට පත් ව ඇති අතර එය රටේ සංවර්ධන කටයුතු සඳහා ද අතශ්‍යවශ්‍ය සාධකයක් බවට පත් ව තිබේ. වරින් වර අඩුවැඩි වශයෙන් අප මුහුණ පාන විදුලි අර්බුදයට තිර විසඳුමක් සොයා යා යුතු සේ ම ඒ පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කරගත යුතු වකවානුවක පැහැදිලිව කිව යුත්තේ පවත්නා විදුලිබල අර්බුදය දේශපාලන නායකයන්, විදුලිබල ක්ෂේත්‍රයේ පරිපාලකයන්, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ම නිර්මාණය කරනු ලැබූවක් බව ය. නිරන්තරයෙන් ඉහළ යමින් පැවැති විදුලිබල ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් ප්‍රශස්ත පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් සම්පූර්ණ වගකීම දැරිය යුතු ය.

මන්ද ඔවුන් අලුතින් විදුලි උත්පාදන බලාගාර ඇති කිරීම සම්බන්ධයෙන් කලට වේලාවට තීරණ ගැනීම අතපසු කර දැමූයේ කිලෝවොට් පැය එකක් සඳහා රු 18.00ක් වන නොරොච්චෝලෙයි නිෂ්පාදන පිරිවැයට වඩා පවා අඩු මුදලකට රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය යටතේ බලාගාර ස්ථාපිතකොට විදුලිය සැපයීමට එකඟත්වය පළකළ ආයෝජකයන් නොඅඩුව සිටියදී ය. 2014 දී නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරු ව කිසිදු ප්‍රධාන විදුලි බලාගාරයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කොට නොමැති බව පැහැදිලි ය.

විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඇස්තමේන්තුවලට අනුව වාර්ෂික විදුලිබල ඉල්ලුම 6%කින් වැඩිවන බවයි. ඒ අනුව විදුලිබල උත්පාදන ධාරිතාවය වාර්ෂික ව අවම වශයෙන් මෙගාවොට් 200කින් ඉහළ නැංවිය යුතු ය. එහෙත් 2014 වසරේදී මෙගාවොට් 3932ක් වූ සමස්ත ස්ථාපිත විදුලබල උත්පාදන ධාරිතාවය 2017 වසර අවසන් වන විට වැඩි වී පැවතියේ මෙගාවොට් 4086ක් දක්වා පමණි. තෙවසරක් තුළ විදුලබල උත්පාදන ධාරිතාවය වැඩිවී ඇත්තේ මෙගාවොට් 154ක් පමණ ය. ඉන් පසුව 2018,2019 වසරවලදී පවා විදුලිබල උත්පාදන ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් ඉහළගොස් නැත.

විදුලි ඉල්ලුම

රටක ශීග්‍රයෙන් සිදු කෙරෙන කර්මාන්ත, හෝටල්, කාර්යාල සහ බද්ධ නිවාස ගොඩනැගිලි ඉදිකිරීම් මෙන් ම ජනතාවගේ වැඩි දියුණු ජීවන රටාවන් සමඟ දළ දේශීය නිෂ්පාදිතයේ සිදුවන වර්ධනය හේතුවෙන් විදුලිබල ඉල්ලුම උපකල්පනය කරන ලද 6%ක වාර්ෂික වර්ධනය ද ඉක්මවා යා හැකිය.

ඇ.ඩො. 4073.7ක ඒක පුද්ගල ද.දේ.නිෂ්පාදනයක් සහිත මෙරට තුළ විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 494කි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය පවතිනුයේ සමාන දේශගුණික තත්ත්වයන් සහිත අනෙකුත් ආසියානු රටවලට වඩා අඩු මට්ටමක බව පැහැදිලි ය.

එහෙත් නුදුරේදී ම මෙරට ඒක පුද්ගල විදුලි පරිභෝජනය අවම වශයෙන් කිලෝවොට් පැය 1000ක් කරා ළඟා වන බවක් උපකල්පනය කළ හැකි අතර ඒ වන විට විදුලි උත්පාදන ධාරිතාවය දෙගුණයක් කිරීමේ අවශ්‍යතාව ද පැනනඟී. ඒ අනුව යමින් මෙගාවොට් 4000ක පමණ ස්ථාපිත ධාරිතාවයක් ඇති විදුලි බලාගාර ඉදිකිරීම සඳහා අවම වශයෙන් ඇ.ඩො. බිලියන 4.0 ක ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය බව පැහැදිලි ය.

වඩා වැදගත් තීරණය වනුයේ රජය විසින් ප්‍රාග්ධන ආයෝජනයක් සිදු නොකොට මෙම විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා ආයෝජන ආකර්ෂණය කරගැනීම ය. ඒ සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුත්තේ අවුරුදු 25-30ක කාල සීමාවක් සඳහා සුදුසු ඉඩම් කල්බදු යටතේ ලබාදීම සහ විදුලිබලය මිලදී ගැනීමේ ගිවිසුම් ඇති කර ගැනීමට පමණක් ය. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 9(ඇ) වගන්තිය විශාල විදුලි බලාගාර (මෙගාවොට් 25ට වැඩි) කෙරෙහි පුද්ගලික ආයෝජන සිදුකිරීම සඳහා ප්‍රධාන බාධකයක් වී ඇති අතර එම වගන්තිය ප්‍රකාරව මෙගාවොට් 25 ඉක්මවන විදුලි උත්පාදන බලාගාරයක් ස්ථාපිත කළ හැක්කේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සහ මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇති ව, භාණ්ඩාගාර ලේකම්වරයා විසින් තීරණය කරනු ලැබිය හැකි කොටස් ප්‍රමාණයක් දරනු ලබන, රජය, රාජ්‍ය සංස්ථාවක් විසින් කොටස්වලින් සියයට පනහකට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් දරනු ලබන සමාගමක් හෝ එවැනි සමාගමක පාලිත සමාගමකට පමණි.

බලාගාර අවශ්‍යතාව

විදුලිබල උත්පාදනයේදී පෞද්ගලික ආයෝජන සඳහා පහසුකම් සැපයීමේ අරමුණක් ඇති කරගන්නේ නම් මෙම වගන්තිය සුදුසු අන්දමින් සංශෝධනයකට ලක්කළ යුත්තේ ශ්‍රී ලංකාවේ සංස්ථාගත ඕනෑම සමාගමකට විදුලි බලාගාර ඉදිකිරීමට ඉඩ සැලසෙන පරිද්දෙනි. එසේ ම මෙගා වොට් 25 ඉක්මවන විදුලි උත්පාදන බලාගාර ඉදිකිරීම පිණිස රජයේ අනුමැතිය සහිත ව මහජන උපයෝගිතා කොමිසම එම සමාගම් සඳහා විදුලි උත්පාදන බලපත්‍ර නිකුත් කිරීමක් ද කළ යුතු ය. පැහැදිලි සහ හිතකර නෛතික රාමුවක් මෙන් ම යහපත් ආයෝජන පරිසරයක් ඇතිකොට ඉඩම් කල්බදු දීමක් සහ විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුමක් මඟින් විදුලිබලය උත්පාදනය සඳහා ආයෝජන ආකර්ෂණය කරගැනීම තුළින් කිසිදු දුෂ්කරතාවකින් තොර ව මෙරට විදුලිබල අර්බුදයට පිළියම් යෙදිය හැකි බව වගකිව යුත්තන් වටහාගත යුතු ය.

බ්‍රිතාන්‍ය සමාගමක් වන ‘එනර්ජි ව(ර්)ල්ඩ් ඉන්ටනැෂනල්’ විසින් ඉදිරිපත් කරනු ලැබූ හම්බන්තොට වරායේ එකක් මෙගාවොට් 300 බැගින් යුත් අදියර හතරක් සහිත මෙගාවොට් 1200ක ධාරිතාවක් සහිත විදුලිබල උත්පාදන බලාගාරයක ආයෝජනය කිරීම සඳහා වූ යෝජනාව හඳුනාගත හැක්කේ විදුලිබල ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජන පිළිබඳ හොඳ ම නිදසුනක් ලෙසිනි.

යෝජනා ඉදිරිපත් කළ සමාගම්වල මූල්‍ය විශ්වසනීයත්වය අන්තර්ජාතික ගිණුම්කරණ සමාගමක් මගින් පරීක්ෂාවට ලක්කිරීම පවා සිදුකරමින් ප්‍රසම්පාදන කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ටෙන්ඩර් කමිටුව විසින් සිදුකළ විස්තරාත්මක ඇගයීමකින් පසුව, යෝජනා 5ක් තෝරාගෙන ක්‍රියාවට නැංවීම සඳහා නිර්දේශ කරන ලදී. මෙසේ තෝරාගනු ලැබූ එක් යෝජනාවක් වනුයේ ඇ.ඩො. මිලියන 1350ක මුළු අයෝජනයක් සහිතව ඝන මීටර 80,000ක ගබඩාකරණ ටැංකියක් සහිතව පැටවීමේ සහ ගොඩබෑමේ පහසුකම් සහිත ද්‍රවිකෘත ස්වභාවික වායු පර්යන්තයක් සහ වසර 8ක කාල සීමාවක් පුරා වසර 2ක කාල අන්තරයක් සහිත ව එකක් මෙගාවොට් 300කින් යුතු ව අදියර 4කදි මෙගාවොට් 1200ක මුළු ධාරිතාවය සහිත සංයුක්ත චක්‍ර ද්‍රවිකෘත ස්වභාවික වායු විදුලි බලාගාරයක් ඉදිකිරිම ය.

මෙම යෝජනාවට අනුව හම්බන්තොට වරායේ හෙක්ටයාර 30ක ඉඩමක් වසර 25ක් සඳහා කල්බදු දීමට වරාය අධිකාරියට සිදු වේ. ආයෝජකයා ඉඩම සඳහා වාර්ෂිකව ඇ.ඩො. මිලියන 1.5ක් ගෙවනු ලබන අතර සෑම වසරකම 3%ක වැඩිවීමක් සිදු කෙරේ. ලංකා විදුලිබල මණ්ඩලය වසර 25 ක් සඳහා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹිය යුතු ය. මේ සඳහා මුලින් ම ඉදිරිපත් කරනු ලැබූ මිල කිලෝවොට් පැය 1ක් සඳහා ඇ.ඩො. 0.09ක් (ඇමෙරිකානු ශත 9ක්) වූ අතර පසුව එය ඇ.ඩො. 0.07ක් (ඇමෙරිකානු ශත 7ක්) දක්වා අඩු කෙරිණි. මෙහිදී ආයෝජකයා ධාරිතා ගාස්තුවක් හෝ වෙනත් කිසියම් ගාස්තුවක් ඉල්ලා නොසිටියේ ය. ඇමෙරිකානු ශත 07ක් වන මෙම මිල අනුපාතිකයෙන් අදහස් වනුයේ කිලෝවොට් පැයකට රු 12.36 බැගින් මෙම බලාගාරයෙන් විදුලිය ලබා ගැනීමට හැකි බව වන අතර එය නොරොච්චෝලෙයි ඇ.ඩො. බිලියන 1.35ක ප්‍රාග්ධන වියදම ඇතුළත් මිල අනුපාතය වන රු. 18.00ට වඩා ලාබදායී වේ.

පනත හරහට

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් පසුව, හෙක්ටයාර 30ක ඉඩමක් වෙන්කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලිපියක් නිකුත් කිරීමෙන් ද අනතුරු ව හවුල් ව්‍යාපාර ගිවිසුම අවසන් වශයෙන් සකස් කිරීමට උත්සාහ දරන අවස්ථා‍වේ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි පනතේ 9(ඇ) වගන්තිය ඊට හරහට සිටි බව කිව යුතු ය.

කල් බදු දුන් ඉඩමේ වටිනාකම සඳහා භාණ්ඩාගාරයේ ලේකම් වෙත 10% කොටස් නිකුත් කිරීමට ආයෝජකට සිදුවන අතර ම වරාය අධිකාරියට යම්කිසි වාර්ෂික කල් බදු ගෙවීමක් ද සිදුකළ යුතු විය. එපමණක් නොව ඉඩමේ මුළු සින්නක්කර වටිනාකමවත් ඇ.ඩො. මිලියන 50ක් නොවන විටක ඇ.ඩො. මිලියන 1350ක් ආයෝජනය කිරීමෙන් අනතුරුවත් භාණ්ඩාගාරයේ ලේකම්ට පාලනය කිරීමේ පූර්ණ බලය ලබා දීමට සිදු විය. එවැන්නකට ඉඩ දෙ‍න්නේ කවර ආයෝජකයෙක් ද?

මෙකී හවුල් ව්‍යාපාර ගිවිසුමේ වූ ඇතැම් සුවිශේෂී ලක්ෂණ පිළිබඳ ව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ යම් හෙයකින් එය ක්‍රියාත්මක වූයේ නම් නොරොච්චෝලේ බලාගාරයේ සිදුවන බොහෝ කඩාවැටීමේ අයහපත් අත්දැකීම් සමඟ සලකා බලන විට මෙතුළින් දැවැන්ත වාසියක් අත්වීමට ඉඩ පැවති බව ය.

එනම් මෙහිදී ද්‍රවීකෘත ස්වභාවික වායු සැපයීම සඳහා කටයුතු පිළියෙළ කිරීමේ කිසිදු බරක් රජය හෝ ලංකා විදුලිබල මණ්ඩලය නොදරනු ඇත. ප්‍රධාන පෙළේ සමාගම් දිගු කාලීන පදනමින් තම සැපයුම් ලබා ගන්නා බැවින් තනි විදුලි බලාගාරයක් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළින් ද්‍රවීකෘත ස්වභාවික වායු මිලයට ගැනීම ගැටලු ඇති කරනු ඇත. සමස්ත ආයෝජනය ම විදේශයන්ගෙන් රැගෙන එනු ලබන අතර දේශීය බැංකුවලින් කිසිදු මුදලක් ලබා නොගනු ඇත.

ඇමෙරිකානු ශත 7.0ක් වන මෙම බලාගාරයේ විදුලි පිරිවැය වත්මන් විනිමය අනුපාතයට අනුව කිලෝවොට් පැයක් සඳහා රු. 12.36ක් වනු ඇත. (ඇ.ඩො. 1= රු. 176.50) ඩීසල් විදුලි බලාගාරවලින් විදුලි උත්පාදන පිරිවැය කිලෝවොට් පැයක් සඳහා රු.30.00 -32.00ක් වනු ඇත. නොරොච්චෝලේ බලාගාරයේ ප්‍රාග්ධන වියදම් ආපසු ගෙවීම ඇතුලත්ව එය කිලෝවොට් පැයක් රු. 18.00 කි. මෙම ආයෝජකගෙන් ද්‍රවීකෘත ස්වභාවික වායු මෙගාවොට් 300ක් හඳුන්වා දීමත් සමගින්, ඩීසල් මඟින් විදුලිය උත්පාදනය කිරීමට සිදු නොවීම නිසා වාර්ෂික ව ඉතිරිවන මුදල රු. බිලියන 40ක් පමණ වේ.

හරිත බලශක්ති

එසේ ම කෙරවළපිටියේ පිහිටි මෙගාවොට් 300 යේ මිශ්‍ර චක්‍ර තාප විදුලි බලාගාරය ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් බවට හැරවීම සඳහා තරගකාරී මිලකට ද්‍රවිකෘත ස්වභාවික වායු සැපයීමට ආයෝජක කැමැත්ත පළ කර ඇති අතර එමගින් ලංකා විදුලිබල මණ්ඩලයට තවදුරටත් මුදල් ඉතුරු කිරීමට හැකියාව උදා වනු ඇත. මන්ද ගල්අඟුරු මෙන් නොව ද්‍රවීකෘත ස්වභාවික වායු සැලකෙන්නේ හරිත බලශක්තියක් ලෙස ය. මේ වන විට බොහෝ රටවල පවතින ගල්අඟුරු විදුලි බලාගාර වසා දමමින් පවතින අතර අලුතින් ආරම්භ නොකොට සිටීමට ද වගබලා ගනී.

වරාය ඉදිකිරීම සඳහා ගනු ලැබූ ණය පියවීම සඳහා දිගුකාලීන බදු පදනම මත හම්බන්තොට වරාය චීනයට බාර දීම සඳහා සාකච්ඡාවන්ට එළඹු අතර පසුගිය රජය සිදුකළ බරපතළ වරද වූයේ ද්‍රවීකෘත ස්වභාවික වායු බලශක්ති ව්‍යාපෘතිය වැනි හම්බන්තොට වරායට අදාළව ඒ වන විටත් සාකච්ඡා කොට තිබූ යහපත් ව්‍යාපෘතීන් ද අත්හැර දැමීම ය.

කෙසේ වෙතත් වඩා යහපත් ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම සඳහා බලපෑ සැබෑ හේතුව වූයේ බ්‍රිතානය සහ යුරෝපීය සංගම් පිහිටුවා ඇති බොහෝ ජාත්‍යන්තර සමාගම් කොන්ත්‍රාත් ලබාගැනීම සඳහා විශාල කොමිස් මුදල් ගෙවීමට ඇති නොකැමැත්ත ය. මීතොටමුල්ල කසළ අංගනය විද්‍යාත්මක කළමනාකරණයකට ලක් කිරීම සහ කසළවලින් විදුලිය නිපදවීම සඳහා 2013 වසරේදී දැඩි උනන්දුවක් දැක්වූ ප්‍රමුඛ පෙළේ නෝර්වීජියානු සමාගමකට අදාළව සිදුවූයේ ද එවැනි ම සිදුවීමකි.

පෞද්ගලික සහාය

සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය අවලංගු කිරීම, 2016 නොවැම්බර් මස ටෙන්ඩර් කැඳවූ කෙරවළපිටිය මිශ්‍ර චක්‍ර මෙගාවොට් 300 බලාගාරය ස්ථාපිත කිරීම සඳහා වූ ආයෝජන යෝජනාව පිළිබඳ කටයුතු නිමා කිරීමේ ප්‍රමාදය, විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකි වන පරිදි කෙරවළපිටිය මෙගාවොට් 300 තාප විදුලිබලාගාරය ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) භාවිතා කිරීමට හැකිවන පරිදි සකස් කිරිමේ ප්‍රමාදය වැනි තවත් බොහෝ හේතු වත්මන් විදුලිබල අර්බුදයට බලපෑ හේතු ලෙස හඳුනාගත හැක.

එනර්ජි වර්ල්ඩ් ඉන්ටනැෂනල් සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට සමාන ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) සැපයීමේ සැකැස්මක් සහිත ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරයක් ඉදිකිරිම සඳහා ආයෝජකයකු සොයා ගැනීම වඩාත් ම ඥානාන්විත යෝජනාවක් වනු ඇත.

නිසි කලට නිවැරැදි තීරණ නොගනිමින් සහ ආත්මාර්ථකාමී ව ක්‍රියාකිරීමෙන් දේශපාලනඥයන්, පරිපාලකයන්, ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්මාණය කරනු ලැබූ විදුලිබල අර්බුදයට පින්සිදු වන්නට අපගේ කර්මාන්ත සඳහා විදුලි මිල ගාස්තු අනුපාතය කලාපයේ දැකිය හැකි වැඩි ම මිල එනම් ශ්‍රී.ල. රු. 17.80ක් ය. එය වියට්නාමයේ ශ්‍රී.ල. රු. 8.19ක් ද ඉන්දියාවේ ශ්‍රී.ල.රු. 15.40ක් ද වශයෙන් පවතී.

බොහෝ දියුණු රටවල සිදු කෙරෙනුයේ රජයෙන් විදුලි බලාගාර ඇති කිරීම වෙනුවට පෞද්ගලික ආයෝජකයින්ට ඉඩදීම ය. බොහෝවිට ජලවිදුලි බලාගාර ඇති කිරීමේදී ජලවිදුලිය ලබාගැනීම පමණක් නොව කෘෂිකාර්මික අරමුණු ද මුල් වන බැවින් එහිදී රජය පෙරමුණ ගැනීම වැදගත් වුවද ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) බලාගාර ස්ථාපිත කිරීමේ දී වඩා වැඩදායී සහ කාර්යක්ෂම වන්නේ ගිවිසුමක් මත පෞද්ගලික ආයෝජකයන්ට ඉඩ ලබාදී, උත්පාදනය කරන විදුලිය රජය විසින් මිලදී ගැනීම ය. රටේ ණය අනුපාතය ඉහළ අගයක් ගන්නා මෙවන් වකවානුවක විදුලි බලාගාර ස්ථාපිත කිරීම වෙනුවෙන් ණය ලබාගැනීම සඳහා පවතින අවස්ථා ද ඉතා සීමිත බැවින් විදුලි අර්බුදය විසඳාගැනීමට පෞද්ගලික ආයෝජකයන් සමඟ ගිවිසුම්ගත වීම ඵලදායි වේ. එසේ ම පාඩු ලැබීමට ඇති නොකැමැත්ත හේතුවෙන් පෞද්ගලික ආයෝජකයන් තත්ත්වයෙන් උසස් යන්ත්‍රෝපකරණ භාවිත කිරීම හේතුවෙන් වැඩි කාර්යක්ෂමතාවක් සහ ඵලදායිතාවක් ද බලාපොරොත්තු විය හැක.

එසේ ම ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයක LNG බලාගාරයක් ස්ථාපිත කළහොත් ඒ පදනම මත ම යූරියා නිපදවීමට ද ආයෝජකයෙකු සොයාගත හැක්කේ යූරියා නිපදවීමට LNG අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන බැවිනි. සාධාරණ මිලක් යටතේ යූරියා මිලදී ගන්නා බවට පෞද්ගලික ආයෝජකයෙකු සමඟ ඇති කරගන්නා ගිවිසුමක් මත, අප වසරකට යූරියා ආනයනය සඳහා සිදු කරන වියදම සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත හැකි වේ.

එසේ ම විදුලිබල අර්බුදයට විසඳුම් සෙවීමේ දී සූර්ය බලශක්තිය (ජනගහන ගණත්වයට සාපේක්ෂව ගොඩබිම ඉඩම් සීමිත බැවින් විශාල ජලාශවල පාවෙන සූර්ය විදුලි බලාගාර ඇති කිරීම වඩා සුදුසු වේ) සහ සුළං බලශක්තිය ද යොදාගැනීමේ නව ක්‍රම අත්හදා බැලීම වටී.

නව අදහස දක්වන්න