“ගමට ගෙයක් රටට හෙටක්’’ වැඩසටහනේ තවත් වැඩක් | දිනමිණ

“ගමට ගෙයක් රටට හෙටක්’’ වැඩසටහනේ තවත් වැඩක්

“ගමට ගෙයක් රටට හෙටක් ’’රජයේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ඉදිකළ දෙවන නිවාසය පාර්ලිමේන්තුව විසුරුවීමට පැය කිහිපයකට පෙර විවෘත කිරීමට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මිරිදිය ධිවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් පියවර ගෙන තිබිණි.

මෙහි පළමු අදියරේදී ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි එක් නිවසක් ඉදිකිරීමට නියමිත අතර මේ සඳහා එක් නිවසකට ලබා දෙන මුදල රුපියල් ලක්ෂ හයකි. මේ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මැතිවරණ බලප්‍රදේශයේ

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් පම්බල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පැල්පතක ජිවත් වූ ඇන්ටනි මාක්ස් මහතා ඇතුළු පවුලේ සාමාජිකයනට නව නිවහනක් ලැබිණි. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ දොළහකට ආසන්න වන අතර ඊට පවුලේ හිතවතුන්ගෙන් හා ගම්වැසියන්ගෙන් ද ආධාර ලැබී තිබේ.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරකු වන සන්ධ්‍යා රාජපක්ෂ, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ, හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සිල්වා ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක්ද මාදම්පේ ප්‍රාදේශීය මහා ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

ප්‍රසාද් පුර්ණමාල් 
පුත්තලම දිසා සමුහ

නව අදහස දක්වන්න