නැව්වලින් එන මගීන්ට රට තුළට ඇතුළු වීම තහනම් | දිනමිණ

නැව්වලින් එන මගීන්ට රට තුළට ඇතුළු වීම තහනම්

මෙරට වරායන් වෙත පැමිණෙන සුඛෝපභෝගී මගී නෞකාවල මගීන් රට තුළට ඇතුළු කැර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කැර තිබේ.

කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට අවශ්‍ය උපදෙස් මේ වන විට ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොළඹ වරායට පසුගිය කාලයේ සුඛෝපභෝගී මඟී නෞකා රැසක් පැමිණ තිබෙන අතර අග්නිදිග ආසියාකරයේ කෙරෝනා වෛරසයේ අවදානම නිසා එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.

එම නෞකා කොළඹ වරායට පැමිණි පසු එහි මඟින් රට තුළට ඇතුළු වී දින දෙක තුනක කෙටි සංචාරවල නිරතවීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර ඔවුන් මහනුවර, දඹුල්ල, ගාල්ල ඇතුළු ප්‍රදේශවල කෙටි චාරිකාවලට එක් ව නැවත නෞකාවට පැමිණෙති.

‍කොරෝනා වෛසරය මේ වන විට චීනයෙන් පිටත රටවල් රැසක ව්‍යාප්තව පවතින බැවින් එම සංචාරක මඟීන් දිවයිනට ඇතුළු කැර ගැනීම අවදානම් බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස වී තිබේ.

සුඛෝපභෝගී මඟී නෞකා නිරෝධානය හා රෝග වැළැක්වීම යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලැබී ඇති බලතල ප්‍රකාර ව මෙම තීරණය ගනු ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට දැනුම් දුන් බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

කෙසේ වෙතත් එම නෞකාවලට අවශ්‍ය සේවා සැපයීම නතර කර නැති අතර ඉන්ධන ලබා ගැනීම ඇතුළු කටයුතු සමාන්‍ය පරිදි සිදු ‍කෙරේ.

රිද්මි අමෝදා

නව අදහස දක්වන්න