ඩී.කේ.පී. දසනායකට විරුද්ධව ශානි අබේසේකර අසත්‍ය සාක්කි ඉදිරිපත් කරලා | දිනමිණ

ඩී.කේ.පී. දසනායකට විරුද්ධව ශානි අබේසේකර අසත්‍ය සාක්කි ඉදිරිපත් කරලා

කොළඹ මහාධිකරණයේ පවතින නඩුවක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අසත්‍ය සාක්කි ඉදිරිපත් කර ඇති බවට ලද චෝදනාවක් මත ඊයේ (03) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂම හමුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

11දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්දියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතාට විරුද්ධව කොළඹ මහාධිකරණයේ පවතින නඩුවක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අසත්‍ය ශාක්ෂි ලබාදී ඇති බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂම හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

මහාධිකරණයේ පවතින එම නඩුව සම්බන්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන දෙදෙනා අතර ඇතිවූ දුරකථන සංවාදයකදී එම නඩු වලට රංජන් රාමණායක මහතා බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවක්ද එහිදී ඉදිරිපත් විය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් රංජන් රාමණායක මහතාගේ සහ ශානි අබේසේකර මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඩපටය කොමිෂමේ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රචාරය කරන ලදි.

රංජන් රාමණායක මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අතර ඇතිවූ ආන්දෝලාත්මක දුරකථන සංවාදයකදී මෙලෙස ඩී.කේ.පී. දසනායක මහතාගේ නම සඳහන් කොට බලපෑම් කිරීම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පුද්ගලික ලිපිගොනු පිටතට ලබාදීම, අසත්‍ය සාක්කි මහාධිකරණයට ඉදිරිපත් කිරීම යන චෝදනා මෙලෙස කොමිෂම හමුවේ ගොනුකර කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන අය සුදුවෑන් මගින් පුද්ගලයින් පැහැරගැනීමට සම්බන්ධ බවට මහාධිකරණය හමුවේ අසත්‍ය ශාක්ෂි ලබාදෙන ලෙසට පොලීස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා විසින් නාවික හමුදාවේ හිටපු කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතාගේ බිරියට සහ දරුවන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂම වෙත සිතාසි නිකුත් කර තිබුනද පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා මේ වන විට සේවය අතහැර විදේශගතව ඇති නිසා ඔහුගේ ප්‍රකාශ සටහන් කිරීම කල් යවන ලදි.

නැවත කොමිෂන් සභාව ඉදිරියේ සාක්කි ලබාදීම සඳහා මාර්තු මස 13 දින පෙරවරු 10.00 පැමිණෙන ලෙස විත්තිකරුවන්ට දන්වා තිබේ.

2015 ජනවාරි 8 වන දා සිට 2019 නොවැම්බර් 16 වන දින කාලය තුළ සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනිම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයකින් පත්කරනු ලැබුවේ ය. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතායි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ සෙසු සමාජිකයින් වේ.

අසේල ලියනගේ

නව අදහස දක්වන්න