බැඳුම්කරයේ විත්තිකාරයෝ ! | දිනමිණ

බැඳුම්කරයේ විත්තිකාරයෝ !

මහ බැංකුව දෙවරක් ම කොල්ල කෑ පුද්ගලයන්ට දඬුවම් නොලැබෙන්නේ ඇයි? සිද්ධිය වාර්තා වී වසර පහක් ගෙවී ගිය ද විශ්වාසදායක නෛතික පියවරක් ගැනීමට ක්‍රියා නොක‍ෙළ් ඇයි? ජනාධිපති කොමිෂන් සභාව, කෝප් කමිටුවේ විගණන, ත්‍රිපුද්ගල කමිටු, පොලිස් විමර්ශන හා වෝහාරික විගණන වාර්තා ආදියෙන් ප්‍රතිඵලයක් තිබේ ද? යනුවෙන් මහජනයා පෙරේදා වනතෙක්ම විවිධ ප්‍රශ්න කිරීම් කළහ. පෙරේදා සිට මේ තත්ත්වය යම්තාක් දුරට වෙනස් වන්නේ නීතිපතිවරයා ගත් පියවරක් නිසා ය. එම පියවරට අනුව විත්තිකරුවන් දොළොස් දෙනකුට වරෙන්තු නිකුත්කොට ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නැ’යි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. අලුත් තත්ත්වයට අනුව පෙනීයන්නේ මහ බැංකුව කොල්ලකෑ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වන බව ය. එය රටේ ජනතාවගේ බලාපොරොත්තු දල්වන අලුත් ප්‍රවේශයකි.

2016 මාර්තු 29දා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් කෝටි 3698 ක් ද, 2016 මාර්තු 31දා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් කෝටි 1500 ක් ද සාවද්‍ය ලෙස පරිහරණය කර ඇතැ’යි චෝදනා එල්ල වී ඇත. මෙලෙස සාවද්‍ය ලෙස පරිහරණය කර ඇත්තේ රජයේ මුදල් ය. නැතහොත් මහජනයාගේ මුදල් ය. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් ඇතුළු දොළොස් දෙනකු වෙත චෝදනා එල්ලවී ඇත. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට රටේ නැත. ඔහු සිංගප්පූරුවේ නේවාසිකව සිටින බවට තොරතුරු ලැබී ඇතත්; චූදිතයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගනුලැබූ උත්සාහයන් සාර්ථකවී නැත. මේ සිද්ධි‍ෙය් මහමොළකරු ලෙස ද අර්ජුන් මහේන්ද්‍රන් හඳුන්වනු ලැබේ.

මහ බැංකු මංකොල්ලය නිරීක්ෂණය කරන විට බරපතළ අපරාධ දෙකක් සම්බන්ධයෙන් ජනතා අවධානය යොමුවෙයි. පළමු අපරාධය වන්නේ රටේ ජාතික ආර්ථිකය විනාශ කිරීම සඳහා මංකොල්ලය යොදාගෙන ඇති බව ය. රුපියල් කෝටි පන්දහස් දෙසීයක් යනු විශාල මුදලකි. එය සාවද්‍ය ලෙස පරිහරණය කිරීම නිසා ජාතික ආර්ථිකයට බලවත් පහරක් එල්ලවී ඇත. දෙවන අපරාධය වන්නේ මහජනයා සතු මුදල් දේශපාලන බලය හා නිලධාරී බලය යොදාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ය. රටක මහ බැංකුව හැඳින්විය හැක්කේ එම රටේ ආර්ථිකයේ හදවත හැටියට ය. මෙය සිදුවන්නේ යහපාලන ආණ්ඩු සමයේ ය. යහපාලනය ක්‍රියාත්මක වී පළමු වසර ගෙවීයන්නට ප්‍රථම දෙවරක් ම අපරාධ ක්‍රියා සිදු කිරීමෙන් පෙනීයන්නේ යහපාලනයේ පැවැති දුෂ්ඨ ක්‍රියාදාමය යැයි කිව හැකි ය. බැඳුම්කර වංචාව පිළිබඳ බලවත් හෙළිදරව්ව සිදුකරන්නේ එවකට ජනාධිපති පදවිය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතා ය.

රටක ආර්ථිකය බිඳදැමීම සඳහා හොඳම ක්‍රමය මහබැංකුව විනාශ කිරීම බව වේළුපිල්ලේ ප්‍රභාකරන් ද දැනගෙන සිටියේ ය. ඔහු 1996 ජනවාරි 31දා බෝම්බ පිරවූ ලොරියක් මහ බැංකු ගොඩනැගිල්ලේ ගැටෙන්නට සලස්වා එහි කටයුතු අවුල් කළේය. බෝම්බ සිද්ධිය නිසා මහ බැංකුවට ද, රටේ ආර්ථිකයට ද බලවත් පාඩුවක් සිදු විය. එහෙත් එවකට පැවති රජය මැදිහත්වී සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රධාන චූදිතයා ප්‍රභාකරන් වන බව ද හඳුනා ගත්තේය. ප්‍රභාකරන් නඩු විභාග සඳහා ගෙන්වා ගත නොහැකි වුව ඔහු වරදකරු බව සාක්ෂි සහිතව සනාථ කැරිණි. අවසන් තීන්දුව වූයේ ප්‍රභාකරන්ට වසර දෙසීයක සිර දඬුවමක් නියම වීම ය. කොටි නායකයා ජීවග්‍රහණයට හසුවීමට පෙර මිය ගොස් තිබුණ ද ඔහුට එරෙහි දඬුවම වෙනස් නොවී ය. ප්‍රභාකරන් බෝම්බ ලොරියක් එවා මහ බැංකුවට කළ විනාශයට වඩා බරපතළ විනාශයක් බැඳුම්කර වංචාවෙන් සිදුවී ඇත. එහෙත් චූදිතයන් තව ම නිදැල්ලේ ය.

යහ පාලන ආණ්ඩුව බලයට පත්වූයේ දූෂණයට, වංචාවට හා අක්‍රමිකතාවලට තිත තබන බවට පොරොන්දුවක් ලබා දෙමින් ය. විශේෂයෙන් මහජන මුදල් අවභාවිත කරන දේශපාලකයන්ට හා නිලධාරීන්ට නිසි දඬුවම් ලබා දෙන බව යහ පාලන ආණ්ඩු‍වේ ප්‍රධානීහු කියා සිටියහ. හොරුන් හිරේ දමා ජනතා දේපොළ අත්පත් කරගැනීම ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත්වී තිබිණි. ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනකුගේ ද දේශපාලන සහයෝගය මත මහ බැංකුව දෙවරක් ම කොල්ලකනු ලබන්නේ ඉහත සටන්පාඨය ද මහජනයා අතර හොඳින් පවතින කාලයක ය. යහ පාලන ආණ්ඩුව හොරුන් අල්ලන්නේ යැයි කියුව ද අල්ලාගත් හොරකු නැත. රටේ සිදුවන මූල්‍ය-අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම පොලිස් ඒකකයක් පිහිටුවා තිබුණ ද ඒ මගින් සිදුවූයේ දේශපාලන පළිගැනීම් යැයි කිව හැකි ය. මූල්‍ය අපරාධ කොට්ඨාසයට බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පිළිගත හැකි යමක් ද කළ නොහැකි විය.

මහ බැංකු මංකොල්ලය හැඳින්විය හැක්කේ මෙතෙක් ඉතිහාසයේ සිදුවී ඇති විශාලම මූල්‍ය වංචාව හැටියට ය. එහෙත් ඒ පිළිබඳ පරීක්ෂණ විධිමත් ආකාරයකින් ද පිළිගත හැකි ආකාරයෙන් ද සිදු වී ඇති බවක් පෙනෙන්නට නැත. වරෙක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද මීට ඈඳී තිබූ අතර, ත්‍රි-පුද්ගල කමිටු විමර්ශනවලදී ඔහු නිදහස් කැරිණි. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ද චෝදනා එල්ලවූ අතර ඔහු සිය අමාත්‍ය ධු‍රයෙන් ඉල්ලා අස්විය. වරෙක ඉස්මතු වෙමින් ද වරෙක යට යමින් ද මේ සිද්ධිය පැවැතිණි. ජනාධිපතිවරණ ‍වේදිකාවලදී ද මහ බැංකු කොල්ලය පිළිබඳ විවිධ මත පළ කැරිණි. සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවලදී මහජනයා ප්‍රශ්න කර සිටියේ මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන්නේ ද යන්න ය. මහ බැංකු මංකොල්ලය පිළිබඳ බලවත් විරෝධයක් අදටත් මහජනයා තුළ තිබේ. එය ආපසු හැරවිය නොහැකි මහජන කෝපයකි.

මූල්‍ය පාලනය, මූල්‍ය කළමනාකරණය හා මූල්‍ය විනය සම්බන්ධයෙන් වැඩිපුරම කතා කර ඇත්තේ යහපාලන ආණ්ඩුව ය. ආර්ථිකය නැංවීම සම්බන්ධයෙන් වැඩිපුර ම කතාකර ඇත්තේ ද යහපාලන ආණ්ඩුව ය. මෙහි පෙරමුණගත් තැනැත්තා වූයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය. ඔහු තමන්ට ම අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක් හා මූල්‍ය විනයක් ගැන කතා ක‍ෙළ් ය. ඊට අදාළ උපකල්පන සමාජගත කළේය. එහෙත් ඒ කිසිවක් මහපොළොවේ යථාර්ථයක් වූයේ නැත. ඒ හැරෙන්නට මූල්‍ය විනය හොඳටම පිරිහී ආර්ථිකය බංකොළොත් වූයේ ද වික්‍රමසිංහ මහතා යටතේ ය. එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කැරලිකාර කණ්ඩායම කියා සිටින්නේ බැඳුම්කර හොරුන්ට වහාම දඬුවම් දිය යුතු බව ය. විපක්ෂ නායකයා කියා සිටින්නේ ද බැඳුම්කර හොරුන්ට දඬුවම් දිය දිය යුතු බව ය. එය දැන් රටේ නීති අංශවලට අයත් කාර්යයක් වී තිබේ. නීතිය ඉටුවන්නේ කවදාදැ’යි අපි බලා සිටිමු.

නව අදහස දක්වන්න