දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු | දිනමිණ

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද(06) වරෙන්තු නිකුත් කළේය.
 
ඒ ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. ලේකම්වරියට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි. ලේකම්වරියගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණි. නීති විරෝධීව ඇලි-ඇතුන් 5 දෙනෙකු සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්, අලි රොෂාන් නමැත්තාට එරෙහිව නඩුව අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.
 
නඩුවේ විත්තිකරුවන් දේශපාලන පළිගැනීම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව ඊට අදාළ ලේඛන එම කොමිසම බාරයට ගෙන ඇත. ඒවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණය කොමිසමේ ලේකම්වරියට නොතීසි නිකුත් කර තිබුණි. එහෙත්, ඇය අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

නව අදහස දක්වන්න