‘ලක්දිරිය’ කාන්තා ණය යෝජනා ක්‍රමය බොරැල්ලෙන් ඇරැඹේ | දිනමිණ

‘ලක්දිරිය’ කාන්තා ණය යෝජනා ක්‍රමය බොරැල්ලෙන් ඇරැඹේ

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය නඟාසිටුවීම මූලික අරමුණ කර ගනිමින් ප්‍රියංකා ජයසේකර සමාජ සත්කාර පදනම ක්‍රියාත්මක කරන ‘ලක් දිරිය’ කාන්තා ණය යෝජනා ක්‍රමයේ සමාරම්භක අවස්ථාව නොබෝදා බොරැල්ල මැගසින් පාර ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිනී, නීතිවේදී ප්‍රියංකා ජයසේකර මහත්මියගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන මෙම ‘ලක් දිරිය’ කාන්තා ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා වූ ණය මුදලක් මූලික අදියරේදී උපරිම ලෙස ලබාගත හැකිය.

නව ස්වයං රැකියාවක් ආරම්භ කිරීම, පවත්වාගෙන යන ස්වයං රැකියාව වැඩිදියුණු කිරීම, නිවසින් කොටසක් කුලියට ලබාදීම සඳහා නිවාස අලුත්වැඩියා කිරීම, පවත්වාගෙන යන වෙළඳ සැලකට බඩු භාණ්ඩ මිලදී ගැනීම ආදී ස්වයං රැකියා කටයුතු වෙනුවෙන් මෙකී ණය යෝජනා ක්‍රමයෙන් සහන ලබාගත හැකිය.

මෙහිදී අදහස් දැක්වූ නීතිවේදිනී ප්‍රියංකා ජයසේකර මහත්මිය පවසා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී බොහෝමයක් පවුල් ණය ලබාදෙන ක්ෂූද්‍ර මූල්‍ය සමාගම්වල උපක්‍රමවලට හසුවී විශාල වශයෙන් අමාරුවේ වැටී ඇති බවයි. එමෙන්ම පෞද්ගලික පොලීකරුවන්ගෙන් අතිවිශාල පොලී මුදලකට මුදල් ලබාගෙන ස්වයංරැකියාවල නිරත කාන්තාවන් ද බොහෝ ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ සිටින බවත්, නීතිවේදිනී ප්‍රියංකා ජයසේකර මහත්මිය පෙන්වා දුන්නාය. එහෙයින් එවැනි පවුල්වල කාන්තාවන්ට ද මෙම ණය ක්‍රමය මඟින් සහන ලබාගත හැකි බව ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ අරමුණින් සමාජ සංස්ථාවේ කුඩාම ඒකකය වන පවුල නඟාසිටුවීම මෙම වැඩපිළි‍වෙළේ මූලික අරමුණ බව නාගරික මන්ත්‍රීවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව යන බැංකු ද්වය සමඟ එක්වී ක්‍රියාත්මක කෙරෙන මේ වැඩපිළිවෙළේ සහන ආපසු ගෙවීමට හැකියාවක් ඇති ඕනෑම කාන්තාවක් සඳහා ලබාදීමට තමන් ඇපකරුවෙකු වශයෙන් මැදිහත් වන බව නීතිවේදිනී ප්‍රියංකා ජයසේකර මහත්මිය මෙහිදී පැවසුවාය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඉතිරි කිරී‍ෙම් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) අජිත් පීරිස් මහතා පවසා සිටියේ ඕනෑම රටක ආර්ථිකය නැංවීමෙහිලා මූලික පියවර විය යුත්තේ පවුල නඟාසිටුවීම බවයි. එම නිවැරැදි සංකල්පය හරියාකාරව තේරුම් ගනිමින් තම බැංකුව වෙත මෙකී වැඩපිළිවෙළ යෝජනා කළ නීතිවේදිනී ප්‍රියංකා ජයසේකර මහත්මියට තමන් ස්තූතිවන්ත වන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍ය අධිකාරි ජනක හේරත්, සණස රක්ෂණ සමාගමේ ප්‍රධාන ව්‍යාපාර සංවර්ධන කළමනාකාර නිහාල් දිසානායක, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බොරැල්ල ශාඛා කළමනාකාරිනී නිමාලි ද සිල්වා යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

 

 අවිස්සාවේල්ල විශේෂ - එස්.එන්.පද්මපෙරුම

නව අදහස දක්වන්න