බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව යළි අයකර ගැනීමේ නඩු 5ක් 10දා විභාගයට | දිනමිණ

බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව යළි අයකර ගැනීමේ නඩු 5ක් 10දා විභාගයට

මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවෙන් මහ බැංකුව ඇතුළු රජයේ ආයතනවලට සිදුවූ මූල්‍ය පාඩුව නැවත අයකර ගැනීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට එරෙහිව රජය පැවරූ නඩු පහක් විභාග කිරීම ලබන 10වැනිදා සිදු කිරීමට කොළඹ දිසා අධිකරණය ඊයේ (06) දින නියම කළේය. භාණ්ඩාගාර බැඳුම්කර මිල කෘත්‍රිම ලෙස ඉහළ දමමින්

බැඳුම්කර වෙන්දේසිවල දී සිදු කරන ලද අපරාධමය වැරැදිවලට සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු 10 දෙනකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (06) වරෙන්තු නිකුත් කළේය.

මේ සැකකරුවන්ට එරෙහිව 2016 මාර්තු මාසයේ දී 29 සහ31 වැනි දිනවල සිදුවූ බැඳුම්කර වෙන්දේසියේ දී පොදු දේපළක් වූ රුපියල් බිලියන 51.98ක මුහුණත වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොළ හැසිරවීම ආදී චෝදනා නීතිපතිවරයා විසින් ගොනු කර තිබිණ.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් නඩු කටයුතු පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්ව ඇති බවට තීරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කළ අතර, බැඳුම්කර වෙන්දේසිවල දී සිදු කරන ලද අපරාධමය වැරැදිවලට අදාළව ප්‍රමාණවත් කරුණු ඇති බවත් පළමු සැකකාර සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට නොතිසියක් නිකුත් කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියේ 10වැනි සැකකරු ලෙස නම් කර ඇති මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානි තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර මහතාට වරෙන්තු නිකුත් කිරීමට ප්‍රමාණවත් කරුණු නැතැයි කියමින් වරෙන්තුවක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

බැඳුකර වෙන්දේසිවලදී සිදු කරන ලද අපරාධමය වැරැදිවලට සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 11දෙනාට ඉකුත් 4 වැනිදා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගම, හිටපු මුදල් ඇමැති සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක, හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ ප්‍රධානි අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරි පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි, අධ්‍යක්ෂ ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්, අධ්‍යක්ෂ චිත්‍ර රංජන් හුළුගල්ල, අධ්‍යක්ෂ මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දියෙ පුංචිහේවා, මහ බැංකුවේ ඉහළ නිලධාරියකු වන සංගරපිල්ලේ පදුමනාපන්, අර්ථ සාධක අරමුදලේ නිලධාරියකු වන පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර යන අයවළුන්ට වේ.

රවි කරුණානායක මහතාට එරෙහිව ඇති නඩුව කැඳවන අවස්ථාවේ හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න මර්වින් සිල්වා හිටපු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් අධිකරණයට පැමිණ සිටියහ.

මේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. අම්පාවිල, උප පොලිස් පරීක්ෂක විමල් ජයවීර, සැරයන් නානායක්කාර මහත්වරුන් අධිකරණයේ පෙනී සිටි අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම, උදාර කරුණාතිලක සහ චතුරි විජේසූරිය යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

 

 රෝෂන් තුෂාර

  සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න