වසර 67කට පසු ජය අභියස සිටි නාලන්දාවේ අපේක්ෂා ආනන්දයේ හංසජ සුන්කර දමයි | දිනමිණ

වසර 67කට පසු ජය අභියස සිටි නාලන්දාවේ අපේක්ෂා ආනන්දයේ හංසජ සුන්කර දමයි

91 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර ආචාර්ය එන්. එම්. පෙරේරා කුසලානය වෙනුවෙන් පැවැති 91 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරව නිමාවෙයි. කොළඹ එස්.එස්.සී. පිටියේදී ඊයේ නිමාවූ මේ මහා ක්‍රිකට් තරගයේ වැඩි ගෞරව දිනා ගනිමින් වසර 67කට පසු ජයග්‍රහණයේ අපේක්ෂා දල්වා සිටි නාලන්දාවේ බලාපොරොත්තු සියල්ල සිහිනයක් බවට පත්කළ ආනන්ද මැදපෙළ පිතිකරු හංසජ ජයසිංහ පන්දු 133කදී නොදැවී ලකුණු 89ක් ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් දියත් කළේය.

පළමු ඉනිමේ ලකුණු 157ක් පසුපසින් සිට යළිත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ආනන්ද විදුහලේ කඩුලු 4ක් ලකුණු 76කට බිඳ වැටී අසීරු තත්ත්වයක සිටියදී පළමු වසරේ ක්‍රීඩකයකු වූ 17 හැවිරිදි හංසජ ජයසිංහ හා දසුන් තාරක මනා සංයමයකින් යුතුව 5වැනි කඩුල්ලට පන්දු 174කදී ලකුණු 111ක සම්බන්ධතාවක් ගොඩනැගීම නාලන්දා ජයග්‍රහණය වළක්වාලු දැවැන්ත පවුරක් විය. දසුන් පන්දු 82කදී ලකුණු 29ක් ලබා රැස් කළේය. නාලන්දා විදුහල 1953 වසරේ විමලරත්න සිල්වාගේ නායකත්වයෙන් අවසන් වරට ජයග්‍රහණ හිමිකර ගෙන තිබූ හෙයින් ජයග්‍රහණයේ පිපාසයකින් පෙළී සිටියේය. ආනන්ද විදුහල අවසන් වරට 2003 වසරේ දමින්ද කුලරත්නගේ නායකවත්වයෙන් ජයග්‍රහනය වාර්තා කළේය. 1924 වසරේ සිට පැවැති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 90 කදී ආනන්ද විදුහල තරග 12 ක් ද, නාලන්දා විදුහල තරග 6 ක් ද ජය ලබා ඇති අතර වසර 73කදී සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

මෙවර සුලෝහිත සංග්‍රාමයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද විදුහල මුලින් පන්දුවට පහරදීමට නාලන්දා විදුහලට ආරාධනා කළ අතර එහිදී කඩුලු 4ට ලකුණු 307ක් ලබා පළමු ඉනිම අත්හිටවූ අතර පළමු දිනය නිමාවෙද්දී ආනන්ද විදුහල කඩුලු 5කට ලකුණු 79ක් ලබා සිටි අතර ඊයේ දිනයේ දිවා විවේකයට පෙර සියලු දෙනා ලකුණු 150කට දැවී ගිය හෙයින් දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදු වුණි. ආනන්ද දෙවැනි ඉනිම කඩුලු 7කට ලකුණු 225ක් වෙද්දී තරගය නිමාවට පත්විය. ආනන්ද විදුහල මේ තරග වාරයේදී පළමු ඉනිම නිමාවූ වහාම පිට පිට දෙවැනි ඉනිම ආරම්භ කළ සිවුවැනි තරගය මෙය විය.

නාලන්දාව මහා තරග ඉතිහාසයේ ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු ගණන මේ තරගයේදී වාර්තාවූ අතර මෙයට පෙර 2013වසරේදී කඩුලු 5කට ලකුණු 298 ඉනිමක වැඩිම ලකුණු ගණන විය. නාලන්දා ක්‍රිකට් උප නායක තෙවැනි වසරේ වර්ණලාභී රවීන් සිල්වාගේ දැවැන්ත ප්‍රහාරය නාලන්දා පිලට විශේෂ වාසියක් ගෙන දුන් අතර ඔහු පන්දු 80කදී හතරේ පහර 11ක් හා හයේ පහර 4ක් සමග නොදැවී ලකුණු 100 වාර්තා කළේය. රෂාන් දිසානායක නොදැවී 77ක් ලබාගත් අතර එයට හතරේ පහර 12ක් ඇතුලත් විය. එයට අමතරව චමිදු විජේසිංහ පන්දු 71කදී හතරේ 5ක් හා හයේ 2ක් සමග ලකුණු 56ක් ලබාගත් අතර රවීන් - රෂාන් අතර 5වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 159ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ.

මේ මහා තරගයේ වීරයාට හිමි සම්මානය නාලන්දාවේ රවීන් ද සිල්වා, දක්ෂතම පිතිකරු ආනන්දයේ හංසජ ජයසිංහ, දක්ෂතම පන්දු යවන්නා නාලන්දාවේ ජිතේස් වාසල හා දක්ෂතම පන්දු රකින්නා නාලන්දාවේ රනිදු ද සිල්වා සම්මාන දිනා ගත්හ.

නාලන්දා විදුහල් පළමු ඉනිම කඩුලු 4ට ලකුණු 307 (57)

රවීන් සිල්වා නොදැවී 100, රෂාන් දිසානායක නොදැවී 77, චමින්දු විජේසිංහ 56, රනින්දු සිල්වා 28, අවිෂ්ක පෙරේරා (දිනෙත් නිශංක 34/2)

ආනන්ද විදුහල පළමු ඉනිම ලකුණු 150 (44)

නෙත්ම කරුණාරත්න 59, හංසජ ජයසිංහ 26, අනුද ජයවීර 13, සවිරු නොදැවී 13 (ජිතේස් වාසල 63/5)

ආනන්ද විදුහල දෙවැනි ඉනිම කඩුලු 7ට ලකුණු 227 (69)

කනිෂ්ක රන්තිලකගේ 37 නෙත්ම කරුණාරත්න 29, දසුන් තාරක 29, හංසජ ජයසිංහ නොදැවී 89 (රවීන් සිල්වා 65/2, අවිෂ්ක පෙරේරා 26/2)

 

 ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න