සූරි­ය­වැව ඉදන් යතුරු පැදි­යෙන් කුඩු බෙදූ අඹු සැමි යුවල දැලේ | දිනමිණ

සූරි­ය­වැව ඉදන් යතුරු පැදි­යෙන් කුඩු බෙදූ අඹු සැමි යුවල දැලේ

 

සූරියවැව සිට හම්බන්තොට ඇතුළු අවට ප්‍රදේශවලට යතුරු පැදියෙන් ගොස් මහා පරිමාණ ලෙස හෙරොයින් මත් කුඩු බෙදා හැරීම සිදු කළ අඹු සැමි යුවලක් හම්බන්තොට ගොන්නොරුව පාරේ පහළ අන්දරවැව ප්‍රදේශයේ දී අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පෙරේදා (07) දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සූරියවැව බැද්දෙවැව බටහිර පදිංචි 42 හැවිරිදි අඹුසැමි යුවලකි.

මේ අඹු සැමි යුවල කාලාන්තරයක සිට සූරියවැව සිට විවිධ ප්‍රදේශවලට හෙරොයින් මත් කුඩු මහා පරිමාණ ලෙස බෙදාහැරීම සිදුකර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අඹු සැමි යුවල හෙරොයින් මත් කුඩු සමඟ හම්බන්තොට ගොන්නොරුව මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටින බවට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද ඔත්තුවකට අනුව මේ වැටලීම සිදුකර තිබේ. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හම්බන්තොට ගොන්නොරුව මාර්ගයේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අඹු සැමි යුවල නවතා පරීක්ෂා කර තිබේ. එහි දී 42 හැවිරිදි සැමියා ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 740ක් හා හෙරොයින් අලෙවි කිරීමෙන් අපයාගෙන තිබූ රුපියල් 56,000ක් හා 42 හැවිරිදි කාන්තාවගේ අත් බෑගයේ තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 40ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව අඹු සැමි යුවල සන්තකයේ තිබී ජාවාරමට යොදා ගත් ජංගම දුරකතන දෙකක් ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

සූරියවැව බැද්දෙවැව ප්‍රදේශවාසීන් පැවසුවේ මේ අඹු සැමි යුවල ප්‍රදේශවාසීන් ද බියට පත් කරමින් කාලාන්තරයක් තිස්සේ මේ ජාවාරම කරගෙන ගිය බවයි. අත්අඩංගුවට පත් කාන්තාව අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී මීට පෙර හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට පත්ව තංගල්ල මහාධිකරණයෙන් ඇප ලබා පැමිණ ඇති බවයි මූලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට පත් ජංගම දුරකතන 02, රුපියල් 56,000ක මුදල හා හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 780ක් සමඟ යතුරු පැදිය හා සැකකාර අඹු සැමි යුවල වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිසියට බාර දී තිබේ. අඹු සැමි යුවල හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කලාප අණදෙන නිලධාරී වාස් පෙරේරා, හම්බන්තොට ප්‍රාදේශීය අණ දෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ඩී. එම්. යූ. කේ. අබේරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අම්බලන්තොට කඳවුරේ වැඩ බලන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ. පියතිලක, උප පොලිස් පරීක්ෂකවරුන් වන එන්. ඩි. පී. මඩපාත, ජේ. එච්. එල්. දිල්ශාන්, සැරයන්වරුන් වන (33354) වීරකෝන් (15267) චතුරංග, කොස්තාපල්වරුන් වන (81373) පෙරේරා, (84409) මදුෂංක, (85688) ලහිරු, (87949) චතුරංග, (37375) විජේකෝන්, (39603) නයනජිත් හා කාන්තා පොලිස් කොස්තාපල් (9669) දිල්රුක්ෂි යන නිලධාරීන් එක්ව වැටලීම සිදු කර අඹු සැමි යුවල අත්අඩංගුවට ගෙන තිබේ.


 සූරියවැව විශේෂ

නව අදහස දක්වන්න