මාතර රාහුලේ පාගමනේ දී රිය අනතුරක්: සිසුන් තිදෙනෙක් රෝහලේ | දිනමිණ

මාතර රාහුලේ පාගමනේ දී රිය අනතුරක්: සිසුන් තිදෙනෙක් රෝහලේ

මාතර රාහුල විද්‍යාලයේ පා ගමන අතර තුර සිසුන් පිරිසක් ගමන් කළ වෑන් රථයක් පෙරැළීමෙන් සිසුන් තිදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබති.

රාහුල පාගමන පෙරේදා (7) පස්වරුවේ පැවැත්වෙද්දී සිසුන් පිරිසක් ගමන් ගත් මෙම වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව වෑන් රථය පෙරැළී අසල ඇති විදුලි රැහැන් සහිත කනුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. මෙම වෑන් රථයේ ගමන් කළ සිසුන් අතරින් පෙරැළුණු වාහනයේ සිරවූ සිසුන් තුන් දෙනෙකු තුවාල ලබා මෙසේ රෝහල් ගත කෙරුණු අතර ඉන් එක් සිසුවකු බරපතළ තුවාල ලබා මාතර රෝහලේ දැඩි සත්කාර ඒකක වෙත යොමු කෙරුණි .කෙසේ වෙතත් මේ වන විට මේ සිසුවාගේ තත්ත්වය යහපත් අතට පත්ව සාමන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුරෙන් වෑන් රථයටද දැඩි ලෙස හානි සිදුවී ඇති අතර විදුලි රැහැන් කණු දෙකකටද අලාභ හානි සිදුවී තිබේ.

මෙම අනතුර මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ අධිවේගී පිවිසුමට ආසන්නයේ ඇති ගොඩගම සමගි මාවත ප්‍රදේශයේදී සිදු විය . අසල ව්‍යාපාරික ස්ථානයක සවිකර ඇති ආරක්ෂිත කැමරාවක පැහැදිලිව දර්ශනය වේ. සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වෑන් රථය අධික වේගයෙන් පැමිණ ඇති බවත් වේගය පාලනය කර ගැනීමට නොහැකිව වාහනය පෙරැළී ඇති බවත්ය. මෙසේ තුවාල ලබා ඇත්තේ මාතර රාහුල විද්‍යාලයේ 13 වසරේ සිසුන් පිරිසකි.සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.

 වැලිගම සමූහ ,මාතර සමූහ

සහ ගන්දර සමූහ

නව අදහස දක්වන්න