බෞද්ධ දර්ශ­නයේ කාන්තාවට හිමි තැන | දිනමිණ

බෞද්ධ දර්ශ­නයේ කාන්තාවට හිමි තැන

 

බුද්ධ කාලීන භාරතයේ කාන්තාව ඉතා අවම තක්සේරුවට ලක්වී තිබිණි. කාන්තාවට හිමි වූයේ පහත් පිළිගැනීමකි. කාන්තාවක් ඉපදීම එම පවුලට අවාසානවක් ලෙස සැලකුණි. ඇය පුරුෂයාගේ වහලියක් ලෙස සිටිය යුතු යැයි ඔවුන්ගේ ආකල්පය වුණි. ස්ත්‍රියගේ කැමැත්ත අකමැත්ත නොසලකා ඇය සම්බන්ධව තීන්දු තීරණ ගැනීමද පුරුෂ පක්ෂය විසින් සිදු කළ අතර ඇගේ නිදහස ඇය වෙතින් උදුරාගෙන තිබුණි. විවාහයේ දී ඇගේ ස්වාමියා කවුරුන්දැයි තීරණය කිරීමට පවා ඇයට අයිතියක් නොතිබිණි. විවාහක කාන්තාවකගේ ස්වාමිපුරුෂයා මිය ගියහොත් ඇය ද තම ස්වාමියාගේ ගිණි සෑයට පැන දිවි නසා ගැනීම කළ යුතු යැයි අතීත භාරතීය සමාජයේ මතය විය. කාන්තාවට තිබූ තාඩන පීඩන හා අඩු සැලකිලිවලින් ඇය මුදාගැනීමට බුදුහිමියන් උසස් සේවයක් කළහ. කාන්තාව පුරුෂයන්ගේ වහලියක් නොවන බවත් ඇය සමාජයේ උසස් තත්ත්වයක සිටිය යුතු තැනැත්තියක් බවත් දේශනාවෙන් මෙන්ම ක්‍රියාවෙන් ද උන් වහන්සේ පෙන්වා දුන්හ.

කාන්තාවක් වූ තම මව්තුමියට ධර්මය දේශනා කිරීම පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ අතර ගිහි කල තම භාර්යාව වූ යශෝධරා දේවියට ‘චන්න කින්නර’ ජාතක කතා වස්තුව දේශනාකොට සිත සුවපත් කළහ. තම සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය දැක ඇයටද කෘතගුණ සැලකීමට බුදුහිමි අමතක නොකළ අතර ඇගේ ඉල්ලීමක් වූ කාන්තාවන්ට පැවිද්ද ලබාදීමටද බුදුහිමි ක්‍රියා කළහ. පැවිදි බව ලද මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන්ට නිසි ගෞරවය සහිත බුද්ධ ශාසනයේ ඉහළ තැනක් ලබාදුන්හ. කාන්තාව බුදුසසුනට එක්වීමෙන් සමාජයේ උසස් තැනකට පැමිණියාය. තුන් ලොවට අග්‍ර වූ බුදුහිමි කාන්තාව උසස් කොට සැලකීමෙන් සමාජයේ එතෙක් ඔවුන් කෙරෙහි තිබූ අඩු තක්සේරුව නැතිවී ගියහ. කාලයත් සමඟ කාන්තාවට පුරුෂාධිපත්‍යයෙන් මිදී කටයුතු කිරීමට ඉඩ සැලසිණි. බුද්ධ ශාසනයේ පැවිදි වීමට පවා කාන්තාව උසස් යැයි සිතන තරමට භාරතීය පුරුෂයන්ගේ මානසිකත්වය වෙනස් කිරීමට බුදුහිමිගේ දර්ශනය සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස භාරතීය පුරුෂයන් කාන්තාවට යම් තරමින් හෝ සමාජයේ ගරු කටයුතු තැනක් ලබාදීමට පියවර ගත්හ. පුරුෂයන්ගේ වහල් සේවයේ පමණක් කටයුතු කළ ඇයට වෙනත් කාර්යයන්හි නිරත වීමටද අවස්ථාව ලබාදුන්හ. බුද්ධ පුත්‍රයන්ට දන්, පැන් පිළිගැන්වීම, විහාර ආරාමවලට ගොස් ධර්මය ශ්‍රවනය කිරීමට අවස්ථාව ලබාදීම, රජුන් ඇතුළු ප්‍රභූන් හමුවීම, ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගැනීම උදාහරණ කීපයකි.

බුද්ධ දර්ශනය සමාජගතවීමේ ප්‍රගතියක් වශයෙන් භාරත දේශය හා ඒ අවට රාජ්‍යයන්ද කාන්තාව පිළිගැනීමට ලක් කළ අතර බුදුන්ගේ ජීවමාන කාලයෙන් පසුවද භාරතයේ කාන්තා නිදහස ක්‍රියාත්මක විය. පසුකලෙක ඉන්දිරා ගාන්ධි වැනි කාන්තාවන්ට භාරත දේශයේ නායකත්වය දැරීම තරම් කාන්තාවන්ට බුදුහිමි ලබාදුන් පිළිගැනීම ඉවහල් විය.

 පමුදිනී සමරනායක

නව අදහස දක්වන්න