CSN Fashions පෞද්ගලික සමාගම IDB රන් සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

CSN Fashions පෞද්ගලික සමාගම IDB රන් සම්මානයෙන් පිදුම් ලබයි

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ කර්මාන්ත විශිෂ්ටතා 2019 සම්මාන උළලේ දී ඇඟලුම් සහ ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ රන් සම්මානයෙන් CSN Fashions පෞද්ගලික සමාගම පිදුම් ලැබීය. පසුගිය දා කොළඹ දී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළලේදී CSN Fashions සමාගමේ සභාපති සිරිමන්ත රණසූරිය මහතා වෙත සම්මානය පිරිනැමිණි.1995 දී එක් රෙදි මහන යන්ත්‍රයකින් ඉතා කුඩාවට, තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස සිරිමන්ත රණසූරිය මහතා සිය ව්‍යාපාරය ඇරැඹීය. ඇඟලුම් නිර්මාණ ශිල්පය සහ නිෂ්පාදනය පිළිබඳ මනා දැනුමක් ඇති සිය බිරිය චාන්දනී පෙරේරා මහත්මියගේ උපකාරය එහි සාර්ථකත්වයට මහඟු බලපෑමක් විය. 1996දී CSN Fashions ආයතනය නම් කළ අතර, ඉහළ ගුණාත්මකභාවයෙන් සහ නවීන විලාසිතාවන්ගෙන් යුක්ත කල් පවතින ඇඟලුම් නිර්මාණය සහ නිෂ්පාදනය කිරීම නිසා සමාගම පසුගිය දශක දෙක තුළ වේගයෙන් දියුණු විය. එසේම වෙළෙඳපොළ තුළ සිය අනන්‍යතාව තහවුරු කරමින් Amandy, CSN Linen, LHSR, CHAP, Nisala යන සන්නාම යටතේ ඇඟලුම් වෙළඳපොළට ඉදිරිපත් කරයි.

2019 දී සමාගම අපනයන වෙළෙඳපොළට පිවිසෙමින් ඕස්ට්‍රේලියාවට තම නිෂ්පාදන තොගය සාර්ථකව අපනයන කළේය. වර්තමානයේ දී සමාගම යුරෝපයට, අමෙරිකා එක්සත් ජනපදයට සහ ඕස්ට්‍රේලියාවට ඇඟලුම් අපනයනය කරයි. ‘අපගේ සියලු ජයග්‍රහණවලට මූලිකම හේතුව වන්නේ පාරිභෝගික අවශ්‍යතා මනාව වටහා ගෙන කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමයි. ඉදිරියටත් අති විශිෂ්ට නිෂ්පාදන ලබාදීමට අප අඛණ්ඩව කටයුතු කරනවා.‘ සිරිමන්ත රණසූරිය මහතා පැවැසීය. වර්තමානයේ දී CSN Fashions පෞද්ගලික සමාගමේ සේවක සේවිකාවන් 300කට අධික පිරිසක් සේවය කරන අතර, නවීන තාක්ෂණයෙන් යුත් මැෂින් 250කට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතු වේ. එසේම ව්‍යාපාරය විවිධාංගීකරණය කරමින් පානදුරේ Shopimo නමින් දැවැන්ත විලාසිතාගාරයක් නිර්මාණය කර ඇති අතර, CSN Tours නමින් ප්‍රවාහන සේවා සමාගමක් ද අරඹා ඇත.

නව අදහස දක්වන්න