බැරෝඩාගමන් 2020 දෘශ්‍ය කලා ප්‍රදර්ශනය | දිනමිණ

බැරෝඩාගමන් 2020 දෘශ්‍ය කලා ප්‍රදර්ශනය

බැරෝඩාව කියන්නෙ ගුජරාතයේ නිල්ලෙන් පිරී තිබුණු දැන් බොහොම් ජනාකීර්ණ කළබලකාරී මුම්බායට පැය දහයක් එහයින් තියන පොඩිමත් නැති නගරයක්. වදෝදරා හෙවත් ගුජරායිහි බසින් "නුග ගසින් පිරි නගරය" ඇතුලෙ මීට වසර හැත්තෑවකට පමන පෙර මහාරාජා සයාජිරාවෝ සරසවියේ වස්තු බීජය මෝදු වෙනවා. නමුත් අදට ඇති සම්ප්‍රදාය බිහි වෙන්නෙ එහි දෘෂ්‍ය කලාව ලලිත කලා ෆැකල්ටියට මුල් බැහැගැනීමත් සමඟ. මුලදි මේ ආයතන ගත වීම වෙන්නෙ ඉංජිනේරු පීඨය තුළ. එහි භූගෝල අධ්‍යයනය, නිර්මණකරණය වැනි තාක්ෂණික අවශ්‍යතා උඩ.

වසර 50 කට තරම් උඩ බැරෝඩාවෙ ලලිතකලාව බිහි වෙන්නෙ කණ්ඩායමක් හැටියට. මේ වෙන විට දිල්ලි, බොම්බාය, කල්කටාව ඇසුරු කරගෙන මේ රැල්ල ඇතිවෙනවා. කුඩා නගරයක් වූ බැරෝඩාවෙ මේ ඇති වූ ප්‍රබෝධය ගැන මහාචාර්ය රතන් පරිමූ "බැරෝඩා පාසලේ උදාව" යන තේමාවෙන් මේ ලෙස කියනවා. "ඓතිහාසික පෙලගැස්ම පසු කරගෙන බැරෝඩාවෙ කියන්නෙ බටහිට ආභාෂය රැගෙන රජ පරම්පරා පින්තාරු කිරීමේ කලාවෙන් බිහි වූවක්. එය රාජ්‍ය අනුග්‍රහය මත රජ පරම්පරාව සංරක්ෂණයෙන් නොනැවතී පරිසරය, සම්ප්‍රදාය සංරක්ෂනය කිරීමේ කලාත්මක ක්‍රමවේදයක් ලෙස ගොඩ නැගීම නිසා එහි තිරසාරත්වය එතුළින්ම මතු වුණා. ක්‍රම-ක්‍රමයෙන් 'බැරෝඩාව' හෙවත් මහාරාජා සයාජිරාවෝ සරසවියේ කලා පීඨය පෝෂනය වන්නේ ලෝකයේ විවිධ කලාපවලින් එහි ආගමනය වූ කලාකරුවන්ගේ සම්මිශ්‍රණයෙන්. එනම් බැරෝඩාවට සිදු වූ ආගමනවලින්.

ශ්‍රී ලාංකේය ඉතිහාසය පුරාවට හරි කලට හරි ලෙසට සිදු වූ ආගමනයන් නිසා කලාව පමණක් නොව සමස්ත සංස්කෘතියම පෝෂණය වුණා. මේ තවත් ආගමනයකට කාලයයි. බැරෝඩාගමන් 2020 තුළින් ඔබ හමුවට එන අතුල් මහජන්, සන්දීප් පිසල්කාර්, නයිෂද් ජානි, ප්‍රාන්තික් චට්ඨෝපාද්‍යාය, ක්‍රිෂ්ණප්‍රියා ස්මාර්ට්, දුෂ්‍යන්ත් පටෙල්, ප්‍රභාකර් ආලෝක්, වරුන් කුර්ෂ්ට්ජි සහ රාහුල් මුඛෙර්ජී යන ඉන්දියානුවන් සමඟින් එක්වන ශ්‍රී ලාංකීකයකු වන සංජීව ලියනගේ යන දස දෙනාම සිය පශ්චාත් උපාධි බැරෝඩාවෙන් ලබාගෙන එහි විවිධාංගීකෘත වූ හර සිය කෘතීන් තුළින් විහිදුවාලන ප්‍රයත්නයේ පලමු අදියර බැරෝඩාගමන් 2020 යි.

පළමු ප්‍රදර්ශනය මේ මස 13 සිකුරාදා සවස 6.00ට දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයක් ලෙස කොළඹ ලයනක් වෙන්ඩ්ට් කලාගාරයේදී ඉන්දීය මහකොමසාරිස්වරයා අතින් විවෘත වනවා. එය මහජන ප්‍රදර්ශනය සඳහා 14 සහ 15 යන දෙදින තුළ විවෘතයි. දෙවන අදියර මේ මස 19 වන දින සවස 6.00 ට මහනුවර ඇලියොන්ස් ෆ්‍රොන්සෙස් කලාගාරයේදී මහනුවර ඉන්දීය උප මහකොමසාරිස්වරයා අතින් විවෘත වනවා. එම ප්‍රදර්ශනය අප්‍රේල් 17 වන දා දක්වා මහජනයා සඳහා විවෘතයි. මේ කලාකරුවන් කණ්ඩායම මේ මස 12 සිට 20 වන දින දක්වා ශ්‍රී ලංකාවේ සිය සංස්කෘතික අත්දැකීම ලබනවා. යා යුතු බොහෝ දුරක් වෙනුවෙන් පිඹුරුපත් අඳින මේ මොහොතේ ශ්‍රී ලාංකේය ඔබට ආදරයෙන් කෙරෙන ආරාධනාවක් මේ.

 

 

නව අදහස දක්වන්න