සමාජ මාධ්‍ය අබියස | දිනමිණ

සමාජ මාධ්‍ය අබියස

ටිෂානි ශෂී කුමාරි

‘කාන්තාව’ යන සුවිශේෂ චරිතය සමාජයේ විවිධ භූමිකා තුළ විවිධාකාරයෙන් සිය කාර්යභාරය ඉටු කරලයි. දියණියක, සොයුරියක, බිරියක, මවක, මිත්තණියක ලෙස කුමන භූමිකාවක පසු වුවත් ඇය සිය ආදරණීයයන් කෙරෙහි සිදු කරන කැපකිරීම් අපරිමිතය. එබැවින් සමාජය තුළ ගෞරවයට ඇය නිබඳවම පාත්‍ර වේ.

එහෙත් වර්තමාන සමාජය තුළ කාන්තාවට දැක්විය යුතු ගෞරවය නිසි ලෙස ලබා දෙන්නේ ද යන්න ගැටලුවකි. මාධ්‍යකරණය තුළ කාන්තාව ස්ථානගත කර තිබෙන ආකාරය හා ඇය වෙළෙඳ සන්නාමයක් බවට පත් කර තිබෙනු දැකිය හැකි ය.

අන්තර්ජාලය සමඟ නිබඳව ගනුදෙනු කරන වර්තමාන සමාජයේ සමාජ මාධ්‍ය ජාලා තුළ කාන්තාව අර්ථකථනය කර තිබෙන්නේ විවිධාකාර ස්වරූපයෙනි. මෙවර ජගත් කාන්තා දිනයේදී නූතන මාධ්‍ය විශේෂයෙන් Social Media හමුවේ ‘කාන්තාව’ අර්ථ ගැන්වෙන විලාසය කෙසේ ද යන්න මෙම ලිපියෙන් විග්‍රහ කෙරේ.

Facebook සමාජ ජාලය වර්තමානයේ බොහෝ දෙනාගේ දින චර්යාවේ කොටසක් බවට පත්ව තිබේ. උදෑසන අවදි වූ මොහොතේම ජංගම දුරකතනය කෙරෙහි නෙත් යොමා Facebook ලොග් වීම සාමාන්‍ය දෙයකි.

Facebook සමාජ ජාලය මිතුරු සබඳතා ඇති කිරීමේ අරමුණින් නිර්මාණය වූ වෙබ් අඩවියක් වුව ද අද වනවිට ජීවිතයට අහිතකර බලපෑම් කිරීමට මේ තරම් උපකරණයක් තවත් ඇද්ද සිතෙන තරමටම මෙය සමාජයට බලපෑම් කරයි.

Facebook හි post, Comments, Vedio තුළ කාන්තාව නිරූපණය කරන ආකාරය හේතුවෙන් ඇගේ ගෞරවය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයත් පවා මතුව ඇත.

ඒ අතරින් අතළොස්සක් ‘කාන්තාව’ පිළිබඳ සංවේදී සහ යථාර්ථවාදී නිර්මාණයන් දක්නට ඇත. සයිබර් අවකාශයේ සැරිසරන අතරවාරයේ කාන්තාව පිළිබඳ එවැනි අනුවේදනීය, සානුකම්පිත නිර්මාණයක් දුටුවෙමි.

අන්තර්ජාලය පුරා ඇති නොයෙක් Facebook පිටු අතර ඇයව විනිවිද දැකිය හැකි නිර්මාණයක් වූයේ එබැවිනි.

“කන්‍යාවියේ නුඹ, කාලයක් තිස්සේ

රකින්නට වෙර දරන‍, සීලය බිඳින්නට,

තත්පර කිහිපයක් ඇති, නරුමයෙකුට

එහෙත් නුඹ ඉවසා සිටින තරමට, නුඹට හමුවේවි, සොඳුරු මිනිසෙක්, නුඹත් නොදන්නා තරමට, නුඹේ සීලේ...

රකින්නට වෙහෙස වෙන...

කාන්තාවගේ චරිතය විවිධාකාරයෙන් මුහුණු පොතේ පළ කිරීම් තුළ දැකගත හැකි ය. කාන්තාව කෙරෙහි සංවේදීව පලකරන නිර්මාණ මෙන් ම කාන්තාව කෙරෙහි අවඥාසහගත ආකාරයෙන් සිදුකරන විවිධ පළ කිරීම් මුහුණු පොත පුරා විවිධ පිටුවල දක්නට ලැබෙන සුලබ දසුනකි.

“කොච්චර කළත්.

කුස්සියට තමයි නංගී...”

“සෑම කාන්තාවක් තුළම සැඟවුණු

කාලි මාතාවක් සිටියි...”

අවස්ථාවට අනුව සියල්ල තීරණය වේ...”

අනන්තවත් ‘කෑලි’ නම් ලයින් වෙනවා.

ඒත් ටෝක් කරගන්න තේරෙන්නේ නෑ.

මවක් යන භූමිකාවට සම්බන්ධ Post facebook තුළ නිතර සංසරණය වනු දැකිය හැකි ය. ගැහැනියකගේ උත්තරීතර තත්ත්වය වන මාතෘත්වය වර්ණනා කරන අවස්ථා සහ අතිශය සංවේදීත්වයට පත් කරන ආකාරයේ Post මුහුණුපොත පුරා දැකිය හැකි ය. මවු සෙනෙහස වෙනුවෙන් නිර්මාණය කරන ලද facebook පිටු ද මුහුණුපොත තුළ ඇත.

වස් කවි නම්, මහ ගොඩක් ඇසුණා, සෙත් කවි කිව්වා නම්, ඒ තමයි අම්මා, උණුහුම මටම දිදී, ඈ හීතලේ නිදී, නෑ තව දුක් කන්ද නිම්මා, තුන් ලෝකයට රැකි, ඈ මහා පිරිත වැනී, සසරම අත් නොහරී අම්මා

බිරියකගේ භූමිකාව කෙරෙහි යහපත් සහ අවඥාසහගත විවිධ පළ කිරීම් මුහුණුපොත පුරා දැකිය හැකි ය. බිරිඳ කෙරෙහි ස්වාමි පුරුෂයා සතුව ඇති ආකල්ප මෙන්ම බිරිඳක් විය යුත්තේ කුමන අයුරින් ද ? බිරියකගේ වගකීම් මොනවාද? යන්න සමාජයට පහදන Post විශාල ප්‍රමාණයක් අතර නෙත ගැටුණ Post නිර්මාණයකි මේ.

“පිරිමියෙක්ට ඉන්න ඕනේ
ඌගේ සල්ලිවලින් ජීවත්වෙන්න දඟලන‍
හැම මඟුලටම බොරුවට කෑ ගහන
ආදරේ කියලා මවලා පෙන්වන ගෑනියෙක් නෙමේ
ඌ නැතත් උගේ තැන රැකගෙන
අපි හෙමින් නැගිටිමු මැණික කියලා
ජීවිතේ අමාරුම දවස්වලදී හයියක් වෙන
අම්මගේ තැන දෙන්න පුළුවන් ගෑනියෙක්
“මගෙ අනාගත බිරිඳ මට කරන, ලොකුම උදව්ව
කට පියාගෙන ඉන්න එක, තමයි බං”

එලෙසම Facebook තුළ පළකරන Post වල භාෂාව සිංහල ඉංග්‍රීසි මිශ්‍රිත භාෂාවක් වන අතර තරුණියන්, දියණියන් සම්බන්ධයෙන් ද විවිධ අදහස් රැගෙන එන Post නිර්මාණය කර තිබේ.

“නි‍ෙවසක ඉපදෙන One and only එකම කෙල්ල යනු කොයි වෙලෙත් on එකේ තියෙන ගෙදර පාළු මකන ටියුන් නොකළ වෑරලස් එකකි.”

ගැහැනියක් වූ පමණින්, ලතාවක්ම නොවේ

ගැහැනුකම දරාගත්, කොලු බාගයක් වෙන්න
ජීවිතය පහසු වේවි...

Facebook පමණක් නොව instagram වැනි සමාජ ජාල සහ Youtube තුළ කාන්තාවගේ භුමිකාව විෂම ආකාරයෙන් නිරූපණය කර තිබේ. විශේෂයෙන් ම විනෝදය පදනම් කරගෙන නිර්මාණය කරන ලද Youtube Channel සිය ජනප්‍රියත්වය වැඩි කරගැනීම උදෙසා කාන්තාව‍න්ගේ ඡායාරූප, වීඩියෝ භාවිත කරයි. එහෙත් ඒ තුළ ඇගේ ගරුත්වය අභියෝගයට ලක්වන අතර කාන්තාවන් ද ඒ සියල්ල කෙරෙහි සවිඥානක විය යුතු ය.

සමාජ මාධ්‍ය මඟින් ඇයට ලබාදෙන තත්ත්වය පිළිබඳ මෙන්ම සමාජ මාධ්‍යය භාවිතයේදී එය නිසි ලෙස පරිහරණය කරමින් සිය ආරක්ෂාව තහවුරු කරගැනීමට වගබලා ගත යුතු ය. ලෝකයේම ජීවය බඳු ‘ඇය’ සමාජ මාධ්‍ය තුළ අසරණ නොවන්නේ එවිටය.

තාක්ෂණික වශයෙන් ලෝකය ඉදිරියට කෙතරම් දුරක් ‍ගමන් කළ ද, කාන්තාවට එම මාධ්‍යයක් තුළ හිමිවිය යුතු අනන්‍යතාව ලබාදීම අගනේ ය. බහුතරයක් සමාජ මාධ්‍ය තුළ ඇගේ දුර්ගුණ විවේචනය කරනු ලබන අතර ඇයගේ ගුණයන් සාකච්ඡා කරන්නේ අවම වශයෙනි. මවක, බිරියක, දියණියක ලෙස ඇයට හිමිවිය යුතු නිසි ගෞරවය සමාජ මාධ්‍යය තුළ වුව ද එලෙසම පැවතිය යුතු ය. සුළුතරයක් සිදුකරන සමාජ මාධ්‍ය අවභාවිතයට සමස්ත බහුතරයට වගකිව යුතු නොවූව ද කාන්තාවගේ ප්‍රතිරූපය කෙරෙහි අඩුවැඩි වශයෙන් බලපාන්නේ ද එයමය. කාන්තාවන් ද සමාජ මාධ්‍ය භාවිතයේදි වගකීම් සහගත විය යුතු අතර ඇය කෙරෙහි දක්වන ආකල්පය වෙනස් කළ යුතු කාලය එළඹ තිබේ.

නව අදහස දක්වන්න