19න් පහළ පළමු කොටසේ බාලිකා ක්‍රිකට් ශූරතාව දේවපතිරාජ විදුහලට | දිනමිණ

19න් පහළ පළමු කොටසේ බාලිකා ක්‍රිකට් ශූරතාව දේවපතිරාජ විදුහලට

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කළ අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කොටසේ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.

ඊයේ පස්වරුවේ මත්තේගොඩ පැවැති අවසන් තරගයේදී දේවපතිරාජ ක්‍රීඩිකාවන් හමුවේ ගම්පහ රත්නාවලී බාලිකා කණ්ඩායම ලකුණු 14කින් පරාජයට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දේවපතිරාජ පිල කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය රත්නාවලී බාලිකාවන්ට ඕවර 24.3කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 122ක් පමණි.

අමන්දි ගුණරත්න පන්දු 52කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 41ක් රැස් කරමින් රත්නාවලී පිල ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සහ කළාය. එහෙත් ඇය සමගින් අවසන් කඩුලු 6 ලකුණු 12ක් තුළ බිඳ දැමීමට දේවපතිරාජ ක්‍රීඩිකාවන් සමත් වීමත් සමග රත්නාවලී පිලට පරාජය අත්විය.

සඳුනි නිසංසලා ලකුණු 26ක් ඉනිමට එක්කළ අතර පන්දු යැවීමේදී සචිනි නිසංසලා කඩුලු 3ක් සහ ටිලිෂියා චතුරංගි කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූහ. කවීෂා දිල්හාරි, ඉමේෂා දුලානි සහ සුලේෂා සත්සරණි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දේවපතිරාජ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ශිකාරි රණහංසි පන්දු 58කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 52ක් රැස් කළාය. කඩුලු 2ක් බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන ක්‍රීඩිකාවක වූ නායිකා කවීෂා දිල්හාරි ඉනිම නිමාවීමට පන්දුවක් තිබියදී දැවී යනවිට ලකුණු 49ක් රැස්කර තිබිණි. වේගවත් ඉනිමක් දියත් කළ ඇය හතරේ පහර 3ක් ඉනිමට එක්කරගත් අතර වැය කළේ පන්දු 38ක් පමණි. 2018 වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසි කවීෂා පසුගියදා ඔස්ට්‍රේලියාවේදී නිමාවූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියටද එක්වූවාය.

පන්දු යැවීමේදී විදූෂිකා පෙරේරා සහ රශ්මි සෙව්වන්දි කඩුලු 2 බැගින් දවාගත් අතර සඳුනි නිසංසලා කඩුල්ලක් බිඳ දැමුවාය.

දේවපතිරාජ විදුහල - 136/6 (ඕවර 25) ශිකාරි රණහංසි 52, කවීෂා දිල්හාරි 49 (විදූෂිකා පෙරේරා 16/2, රශ්මි සෙව්වන්දි 38/2)

රත්නාවලී විදුහල - 122 (ඕවර 24.3) අමන්දි ගුණරත්න 41, සඳුනි නිසංසලා 26 (සචිනි නිසංසලා 18/3, ටිලිෂියා චතුරංගි 21/2)

තෙවැනි තැන අනුලා බාලිකාවන්ට

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් වාද්දුව මධ්‍ය විදුහල පරදවා කඩුලු 8ක ජයක් අත්කර ගැනීමට නුගේගොඩ අනුලා විද්‍යාලය සමත් විය.

ඊයේ පෙරවරුවේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් වාද්දුව විදුහල් පිල ලකුණු 73කට සීමා කළ අනුලා ක්‍රීඩිකාවෝ ඕවර 15.5කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.

දිලිනි ජයවික්‍රම පන්දු 52කදී හතරේ 5ක් සමගින් නොදැවී ලකුණු 42ක් රැස් කරමින් අනුලා පිල ජයග්‍රහණය කරා ගෙන ගියාය. දුලංගා දිසානායක ලකුණු 19ක් ඉනිමට එක්කළ අතර ඉනුෂි ශෙනොරිකා සහ නෙත්මි පූර්නා කඩුල්ල බැගින් දවා ගත්හ.

පන්දු 28කින් ලකුණු 22ක් රැස්කළ නවෝද්‍යා ප්‍රනාන්දු පළමුව පන්දුවට පහරදුන් වාද්දුව ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. නෙත්මි පූර්ණා ලකුණු 11ක් රැස්කළ අතර සෙසු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට අනුලා පන්දු යවන්නියන්ගෙන් ඉඩක් නොලැබිණි.

පන්දු යැවීමේදී ඉමේෂි සේනානායක, ජනාදි අනාලි සහ හිමාෂා සෙව්වන්දි කඩුලු 2ක බැගින් දවාගත් අතර සමාධි නෙත්මිනි කඩුල්ලක් බිඳ දැමුවාය.

නව අදහස දක්වන්න