අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් සී.සී.සී. තෙවැනි ජය ලබයි | දිනමිණ

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් සී.සී.සී. තෙවැනි ජය ලබයි

නිරෝෂාන් ප්‍රියංකර

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියෙන් තරග වදින සී.සී.සී ක්‍රීඩා සමාජය සිය තෙවැනි ජය අත්කර ගැනීමට සමත් විය.

තරගාවලියේ 6 වැනි සතිය යටතේ කෝල්ට්ස් පිල සමගින් සී.සී.සී පිටියේ පැවැති තරගය කඩුලු 3කින් ජය ගැනීමට සත්කාරකයන් සමත්වූ අතර මෙවර තරගාවලියේ තරග 3ක් ජයගෙන ඇති එකම කණ්ඩායම වන්නේ සී.සී.සී ක්‍රීඩා සමාජයයි.

මේ සතියට අදාළව පැවැති තරගවලින් රාගම, හලාවත මේරියන්ස් සහ යුද හමුදා ක්‍රීඩා සමාජයත් පූර්ණ ජයග්‍රහණ අත්කර ගත්තේය.

රාගම කණ්ඩායම එන්.සී.සී. පිටියේදී ලන්කන් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 14ක ජයක් අත්කරගත් අතර සැරසන්ස් කණ්ඩායම සමග කටුනායක පැවැති තරගයෙන් කඩුලු 10ක ජයක් අත්කර ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට හැකිවිය. යුද හමුදා පිල හමුවේ දොඹගොඩ පැවැති තරගයෙන් මුවර්ස් පිලට කඩුලු 8ක පරාජයක් හිමිවිය.

මුවර්ස් පිටියේ පැවැති බී.ආර්.සී.-මීගමුව අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර පළමු ඉනිමේ ජය බී.ආර්.සී පිල සතුවිය. එන්.සී.සී. පිල සහ බදුරලිය පිල අතර මග්ගොන පැවැති තරගය නිමාවූයේ විසදුමකින් තොරවය. එම තරගයේ ක්‍රියාත්මක කළ හැකිවූයේ ඕවර 55.2ක් පමණි.

නිමාවූ සතියේදී රාගම ක්‍රීඩා සමාජයේ රොෂේන් සිල්වා හොඳම ඉනිම දියත් කළේ ලන්කන් පිලට එරෙහිවය. පන්දු 247කට මුහුණදුන් ඔහු හතරේ පහර 18ක් සමගින් ලකුණු 165ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබා දෙමින් වේගවත් ඉනිමක් දියත් කළ නිෂාන් මධුෂ්ක ලකුණු 154ක් රැස් කිරීමට සමත් වූයේ පන්දු 176කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 296කි.

ඇන්ජලෝ ජයසිංහ (මීගමුව) සහ පැතුම් නිශ්ශංක (එන්.සී.සී.) ද මේ තරගවලදී ශතක රැස්කළ අතර සී.සී.සී. කණ්ඩායමේ මිනෝද් භානුක ශතකයකට ලකුණක් පසුපසින් සිටියදී දැවී ගොස් තිබිණි.

සිය පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ මීගමුව ක්‍රීඩා සමාජයේ ලක්ෂිත රසාංජන මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 57කට කඩුලු 8ක් දවා ගනිමින් නිමාවූ සතියේ ඉනිමක හොඳම පන්දු යවන්නා බවටද පත්විය. ධනුෂ්ක රණසිංහ (මුවර්ස්) ද යුද හමුදාවට එරෙහිව ලකුණු 76කට කඩුලු 8ක් දවා ගත්තේය. ඔහු දෙවැනි ඉනිමේදි කඩුලු 2ක් බිඳ දැම්මේය. සී.සී.සී. කණ්ඩායමේ සොනාල් දිනූෂ ඉනිම දෙකේදී කඩුලු 11ක් (55/6 සහ 100/5) දවා ගනිමින් නිමාවූ සතියේ තරගයක හොඳම පන්දු යවන්නා බවට පත්විය. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමද විය.

යශෝධ මෙන්ඩිස් (යුද හමුදාව), උපුල් ඉන්ද්‍රසිරි (මීගමුව), දිල්රුවන් පෙරේරා (කෝල්ට්ස්), අසේල ගුණරත්න (යුද හමුදාව) සහ ශෂික දුල්ෂාන් (රාගම) පන්දු යැවීමෙන් දස්කම් දැක්වූහ.

නව අදහස දක්වන්න