ජාතික කැරම් මිශ්‍ර යුගල ශූරතාව නිශාන්ත සමඟ නිපුනිට | දිනමිණ

ජාතික කැරම් මිශ්‍ර යුගල ශූරතාව නිශාන්ත සමඟ නිපුනිට

මිශ්‍ර යුගල ශූරතාව දිනූ නිශාන්ත ප්‍රනාන්දු සහ නිපුනි දිල්රුක්‍ෂි සහ කාන්තා යුගල ශූරතාව දිනාගත් ශෂිකා සඳමාලී සමග රෙබෙකා ඩැල්රින්

යුගල ශූරියෝ ශෂිකා සහ රෙබෙකා

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධාන කරන 52 වැන ජාතික කැරම් ශූරතාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීමට ප්‍රවීණ ක්‍රීඩක ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු සමග එක්වූ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ නිපුනි දිල්රුක්‍ෂි සමත් වුවාය. තරගාවලියේ කාන්තා යුගල ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ ශෂිකා සඳමාලී සහ රෙබෙකා ඩැල්රින් දිනාගත් අතර ප්‍රවීණ ශූරතාව දිනාගැනීමට කොටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ක්‍රීඩා සමාජයේ ඊ.ඒ.ඩී.ඉන්ද්‍රජිත්ට හැකි විය.

පිරිමි සහ කාන්තා කේවල, යුගල, මිශ්‍ර යුගල හා ප්‍රවීණ ලෙස ඉසව් 6ක් යටතේ දෙල්කඳ ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වෙන තරගාවලියේ කේවල මූලික වටයේ තරග මේ මස 14 වැනිදා සිට සති අන්තයේ දිනවල පැවැත්වෙන අතර, අවසන් තරග 28දා පැවැත්වීමට නියමිතය. පිරිමි යුගල සියලුම තරග 29දා පෙරවරු 9.00 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 කට අධික ප්‍රමාණයක් එක්ව සිටිති.

මේ අතර පසුගිය වසරේ ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මගින් පවත්වන ලැබු 51 වැනි ජාතික කැරම් ශූරතාවලිය, ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතාවලිය, සභාපති කුසලාන ශූරතාවලිය, ජාතික කනිෂ්ඨ ශූරතාවලිය ආදී සියලුම තරගාවලියන්හි ත්‍යාග, කුසලාන හා සහතික ප්‍රදානෝත්සවය මේ මස 22 වැනි දින පස්වරු 4.00ට ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා සහභාගී වන ලෙස සියලුම ජයග්‍රාහකයන්ට ශ්‍රී ලංකා කැරම් සම්මේලනය ආරාධනා කර සිටී.

තරග ප්‍රතිඵල

මිශ්‍ර යුගල - 1.නිශාන්ත ප්‍රනාන්දු (නාවික හමුදාව) නිපුනි දිල්රුක්‍ෂි (මහාමායා බාලිකා නුගේගොඩ) (25/0, 12/25, 25/11) 2.ජෝශප් ඩිලාන්/දෙටුනි නොමායා (යුද හමුදාව), 3.ෂහීඩ හිල්මි (රාජකීය)/ජෝශප් රොෂිටා (නාවික හමුදාව)

කාන්තා යුගල - 1.ශෂිකා සඳමාලී/රෙබෙකා ඩැල්රින් (යුද හමුදාව), 2. ජෝශප් රොෂිටා (නාවික හමුදාව)/තරුෂි හිමහංසිකා (මහාමායා බාලිකා නුගේගොඩ), 3.මධුවන්ති ගුණදාස/එම්.චිත්‍රාදේවී (යුද හමුදාව)

ප්‍රවීණ - 1.ඊ.ඒ.ඩී.ඉන්ද්‍රජිත් (කොටුව තරුණ ක්‍රිස්තියානි සංගමය), 2. කේ.ජී.එස්.ජේ.ප්‍රසාද් (මහනුවර ක්‍රීඩා සමාජය), 3.ආර්.ඒ.ජේ.වික්‍රමසිංහ (ලංකා ගමනා ගමන මණ්ඩලය)

නව අදහස දක්වන්න