සජිත් ජයග්‍රහණය කළ විට ගෝඨාභය හා එකතු වී වැඩ කළ හැකියි | දිනමිණ


 

සජිත් ජයග්‍රහණය කළ විට ගෝඨාභය හා එකතු වී වැඩ කළ හැකියි

රට ගොඩගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උනන්දුවක් ඇති බවත් මෙම මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ විට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට එකතු වී වැඩ කළ හැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) ඇතුල්කෝට්ටේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහෙම එකතු වුණොත් අපිට වැඩකරන්න පුළුවන්, අපට මේ රට ගොඩගන්න පුළුවන්. අපට ඒ සදහා අවශ්‍ය කළමනාකරණය තියෙනවා. අපිට වෙළද කලාප ඇතිකරන්න පුළුවන්, නිෂ්පාදන ඇතිකරන්න පුළුවන්. අපිට විදුලි උපකරණ නිෂ්පාදනය කරන වෙළෙද කලාප ඇතිකරන්න පුළුවන්. අපිට ඒවට මේ වෙනකම් අවස්ථාව ලැබුණේ නැහැ. අපේ දක්ෂ තරුණයන්ට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ. මම කොළඹින් දෙවැනි ස්ථානය ලැබුවා. සාමාන්‍යෙයන් කොළඹින් වැඩිම ඡන්ද ලබන හත් දෙනාටම කැබිනට් ඇමැතිකම් ලැබෙනවා. ඒත් අපට වැඩක් කළ හැකි ඇමැති ධුරයක් ලැබුණේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා කිසිම විටෙක නෑදෑ හිතමිතුරුකම්වලට සලකන්නේ නැහැ. වැඩක් කළ හැකි අයට එතුමා අවස්ථාව දෙනවා. දූෂණයෙන් තොර නායකයන් තමයි එතුමා බලාපොරොත්තු වෙන්නේ.

දැනට පැවැත්වූ සාකාච්ඡා අනුව, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත්තු තීන්දුව අනුව පොදු සන්ධානයක් යටතේ සියලු දෙනාම ඒකරාශි කරගෙන රාජපක්ෂ රෙජිමයට එරෙහිව රට බේරා ගැනීම සඳහා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ එකතුවෙලා තියෙනවා. අපිට තියෙන වාදභේද අඩු කරගෙන සියලුදෙනා එකතුවෙන්න ඕන කියන කාරණාව මම මේකෙදි මකත් කරනවා. පක්ෂ හය හතක නායකයන් මේ වන විට අප සමඟ එකතුවී සිටිනවා. ජනතාව ඉල්ලන්නේ පිරිසිදු දක්ෂ කණ්ඩායමක් සහ අලුත් දේශපලාලනයක්. හොරකම් කරන, මිනීමරන අය ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හිතනවා ජනතාව ඉතා බුද්ධිමත්ව හොඳ පිරිසක් තොරාවි කියලා. මොන පක්ෂයෙන් හරි කමක්නෑ හොඳ පිරිසක් එවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සියයට සීයක්ම පිරිසිදු දේශපාලනයක් කළ හැකි පිරිසක් අපට ඉන්නේ. ජේආර්, ප්‍රේමදාම, ලලිත්, ගාමිණී වගේ දක්ෂ අය අපට ඉන්නවා. ඒත් අපට වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ඒ නායකයන්ට වගේ වැඩකරන්න. හැබැයි අපේ හැටපහකට ආසන්න මන්ත්‍රීවරු ගාණකට පක්ෂය අතාරින්න පවා වුණා. ඒ අය තමන්ගේ දේශපාලන ගමන කැපකරලා තමයි මේ වෙනස වෙනුවෙන් අපි එකතු වුණේ. මේ වෙනස වෙන්නේ නැත්නම් පක්ෂය තුළ අපි මේ වතාවේ ඉල්ලන්නේ නෑ කියන ඒකමතික අදහසේ අපි හිටියේ. මේ හඩ වෙනුවෙන් අපි 30ක් පමණ එකතුවුණා. මේ මැතිවරණයේදි අපි බලාපොරොත්තු වෙන්නේ අඩුමගානේ ආසන 90කට වැඩිය ජයග්‍රහණයක් ලබා ගන්න.

මිනිස්සු රටේ තියෙන ප්‍රශ්න දන්නවා. සහරාන්ගේ ප්‍රශ්නයත් එක්ක දවස් 50 ගාන ඇතුළත දේශපාලන ත්‍රස්තවාදයක් ඇතිවුණා. නීතියේ ඇස් වහලා සමහරු කරපු දේවල් ජනතාවට තේරුණා. එක්සත් ජාතික පක්ෂයට තිබුණු විශාල ශක්තිය හීන වුණේ සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක. එයාර් ලංකා ගනුදෙනුව, හම්බන්තොට වරායෙන් සිදුවුණු හොරකම්, මත්තල ගුවන්තොටුපොළෙන් වුණු හොරකම්, චෝගම් එකෙන් සිදුවුණු හොරකම්, හෙජින් ගිවිසුම, ක්‍රිෂ් නඩුව මේ සිදුවීම නිසාම ජනතාවට අමතක වුණා. රටේ ආරක්ෂාව තහවුරු කරයි කියන ජාතිවාදී සටන් පාඨය ජනතාවට ගියා. ඒකෙන් වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයව පරාජය වුණු එක. මේ අවුරුද්දේ ණය වාරිකය ට්‍රිලියන 1.7යි. මහවැලිය, ගම්උදාව, ඇගළුම් කර්මාන්තය වගේ සියලුම ව්‍යාපෘතිවලින් අපි ආදායම් ලැබුවා. ඒත් හම්බන්තොට වරාය, නෙළුම් කුලුන, මත්තල ගුවන්තොටුපොළෙන් ආදායම් නැහැ. ඒකෙන් වෙන්නේ බිලියන 8000ක ණයක් එකතු කළාම එන පොලිය සියයට 15යි. අපි ණය ගත්තේ නෑ.

මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය අදහස් දැක්වූ අතර එහිදී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ ඉන්ධන මිල සූත්‍රය පැවතියා නම් ඉන්ධන මිල විදේශීය වෙළෙඳපොළ මිලට අනුව වෙනස් වන බවයි. තමන්ගේ පක්ෂය රජය කරන සංවර්ධන වැඩ අනුමත කරන බවත් වැඩිපුර ණය ගැනීම අනුමත නොකරන බවත් එතුමා වැඩිදුරටත් පැවසුවේය.

නදී මාණික්කගේ

නව අදහස දක්වන්න