මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොලොන්නරුව ව්‍යාපෘති නිලධාරියා රිමාන්ඩ් | දිනමිණ

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොලොන්නරුව ව්‍යාපෘති නිලධාරියා රිමාන්ඩ්

සිරන්ජනි කුමාරි

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොලොන්නරුව පිහිටි කාර්යාලයට අයත් ආපනශාලාව පවත්වාගෙන යාමට තුටු පඩුරු ලෙස විස්කි බෝතලයක් උරූ මස් ඇතුළු කෑම වට්ටෝරුවක් ඉල්ලු එම අරමුදලේ ව්‍යාපෘති නිලධාරිවරයා මේ මස 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10) නියම කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නො: 114 පෙරිහිල් ගාර්ඩන්,කුරුඳුවත්ත,වැරැල්ලේ ගම ,කටුගස්තොට තිත්තගල්ල පදිංචි ගමගේ සංඛ අබේධිර ගමගේ යන අයය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොලොන්නරුව පිහිටි කාර්යාලයට අයත් ආපනශාලාව 2020 පවත්වාගෙන යාමට හා ඉදිරියේ දි කරදරයකින් තොරව කරගෙන යාමට ඉඩ සලස්වා 17252ක ද්‍රව්‍ය වන ජොනි වොකර් වර්ගයේ බ්ලැක්ලේබල් මත්පැන් බෝතලයක්,උරූ මස් කිලෝ දෙකක්,කුකුල් මස් කිලෝ දෙකක්,චිස් පැකට් දෙකක්, සෝඩා ලිටර් 11/2 බෝතලයක් ඇතුළු තුටු පඩුරක් අයැද භාරගන්නා අවස්ථාවේ දි සැකකාර ව්‍යාපෘති නිලධාරියා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැරකුම් පෙදෙස ,කුදුරුවෙල පදිංචි පර්ල් චානක හේවගේ නැමැති පැමිණිලිකරු විසින් අල්ලස් කොමිසම වෙත කරන ලද පැමිණිල්ල අනුව කොමිසම විසින් උපායදුතයෙකු ලවා මේ වැටලීම සිදු කර ඇත.

සැකකරු විසින් පැමිණිලිකරුගෙන් කිහිප අවස්ථාවකදීම මෙසේ ද්‍රව්‍යමය අල්ලස් ලබාගෙන ඇති බවට පැමිණිල්ලේ සදහන්ය.

සංචාරක මාර්ග උපදේශක මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොලොන්නරුව කාර්යාලයට අයත් කෞතුකාගාරය අසල රථගාල අසල ආපන ශාලාව 2019 සිට කරගෙන යන බවත් මෙම වසර සදහා අවශ්‍ය ටෙන්ඩරය හා කරදරයකින් තොරව කරගෙන යාමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොලොන්නරුව පිහිටි කාර්යාලයට අනුයුක්ත ව්‍යාපෘති නිලධාරිවරයා මෙසේ තමන්ගෙන් පාටියක් දැමිමට අවශ්‍ය බව සදහන් කරමින් මේ ද්‍රව්‍ය අල්ලස් ඉල්ලා සිටි බවට පැමිණිල්ලේ සඳහන්ය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ මෙය දේශපාලන පළිගැනීමක් බවත් ටෙන්ඩර් ලබාදීම සඳහා සිය සේවාදායකයාට බලයක් නොමැති බවය.

පොලොන්නරුවේ හත මුණ ප්‍රදේශයේ පිහිටි මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිල නිවසට පැමිණි පැමිණිලිකරු සිය නිවසේ ටි පෝවක් උඩ මේ ද්‍රව්‍ය තබා අල්ලස් කොමිසම වෙත දුරකථන ඇමතුම් දි සිය සේවාදායකයා අත්අඩංගුවට ගත් බවය.

අදාළ කරුණු සලකා මහෙස්ත්‍රාත්වරිය ඇප ලබා දිමට තරම් සුවිශේෂි කරුණු ඉදිරිපත් නොවු බව සඳහන් කරමින් සැකකරු මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

 


නව අදහස දක්වන්න