ඊපීඩීපීයෙන් 5-6ක් මැතිසබයට ගියොත් දෙමළ ජනතාවගේ ගැටලු විසඳිය හැකියි | දිනමිණ

ඊපීඩීපීයෙන් 5-6ක් මැතිසබයට ගියොත් දෙමළ ජනතාවගේ ගැටලු විසඳිය හැකියි

ඊ.පී.ඩී.පී සංවිධානයේ මන්ත්‍රීවරුන් 5ක් හෝ 6මෙවර පාර්ලිමේන්තුවට පත් කළ හොත් දමිළ ජනතාවගේ ප්‍රශ්න සඳහා නිසි විසදුම් ලබා දීමට හැකිවනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

තමන් සමග හදවතින්ම දමිළ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටින ඒ අපේක්ෂකයන් තේරී පත්වීමත් සමඟ තමන්ට දමිළ ජනතාවගේ දැවෙන ප්‍රශ්න රාශියක් විසඳා පළාතේ සංවර්ධන කටයුතු ශීඝ්‍ර ලෙස අවසන් කිරීමට හැකියාව පවතින බවද ඇමැතිවරයා කියයි.

යාපනය කුරුනගර් උසස් කාර්මික පුහුණු මධ්‍යස්ථානයේ පවතින අඩුපාඩු හා ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මෙසේපැවැසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවේ තමා දේශපාලනය පිළිබඳ කතා කරන්නේ යැයි වැරැදි ආකල්පයක් ඇති කර නොගන්නා ලෙසයි. මෙය කාලීන අවශ්‍යතාවක් වන නිසා දමිළ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට නම් තමන්ට පාර්ලිමේන්තුවේදී සවියක් විය හැකි මන්ත්‍රීවරුන් ඒ සඳහා තෝරාපත් කරගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරවීමට අවශ්‍ය පසුබිමක් සැකසිය යුතු බව ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මීට පෙර තමා කළ යම් යම් ප්‍රකාශයන් අද දින සත්‍ය වී ඇති බවත්, ඉදිරියේ දී ද එය එසේවන බවත් අමාත්‍යවරයා පැවසීය. එබැවින් ඒ සඳහා ජනතා තීන්දුව වැදගත් වන බවත්, දමිළ ප්‍රජාව මෙහිදී ගන්නා තීරණය මත ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට හැකියාව පවතින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. එබැවින් එළැඹෙන මැතිවරණයේ දී තමන්ගේ ඡන්දය නිසියාකාරව පාවිච්චි කරන ලෙස තමන් ඉල්ලා සිටින බවද ඒ මහතාකීය.

කුරුනගර් තාක්ෂණික විද්‍යාලයේ අධ්‍යක්ෂක කෝකිලන් මහතා මෙම සාකච්ඡාව සංවිධාන කර තිබිණි. මෙම අවස්ථාවට කුරුනගර් කාර්මික විද්‍යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

නව අදහස දක්වන්න