පාරේ පමාවට තිරසාර විසඳුමක් | දිනමිණ

පාරේ පමාවට තිරසාර විසඳුමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මානව වාසයට ප්‍රශස්ත පාරිසරික වායු තත්ත්ව දර්ශකය 25 ට වඩා අඩු අගයක් විය යුතු නමුත්, ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මඟින් සිදු කළ පරීක්ෂණයකදී, කොළඹ නගරය තුළ මේ අගය 153 ක් ලෙසට වාර්තා වී ඇත.

ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග යනාදි සියල්ලම දිනපතාම අධික ලෙස තදබදයට ලක්වන බව අප කවුරුත් දන්නා කාරණයකි. මේ වන විට ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ අනෙකුත් රටවලට ද එමඟින් ඉතා විශාල ගැටලු රාශියකට මුහුණපෑමට සිදුව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරවීමට නම් එයට නිසි පිළිතුරු ඉතා ඉක්මනින් ලබාගත යුතුව ඇත. 

අද වන විටත් ලොව පුරා ඉමහත් කතාබහට ලක් වී ඇති පාරිසරික ගැටලුවක් වී ඇත්තේ වායු දූෂණයයි. ස්වාභාවික වායුගෝලය තුළ අඩංගු විවිධ වායූන්ගේ පවතින්නා වූ මට්ටම් අභිබවා වායුගෝලය තුළ ඒකරාශී වීම හා ආගන්තුක ද්‍රව්‍ය එකතු වීම වැනි කරුණු හේතුවෙන් වායු දූෂණය බහුලවම සිදුවේ. පරිසර අමාත්‍යාංශයට අනුව 2011 වර්ෂය තුළදී රථවාහන මගින් සිදුවූ වායු දූෂණය 55% - 60% ක් ද (මෙය පරිසර අමාත්‍යාංශයෙන් අවසන් වරට මහා පරිමාණ වශයෙන් කළ රථවාහන වායු දූෂණයට අදාළ සමීක්ෂණයයි) කර්මාන්ත ශාලා මඟින් 20% - 25ක් ද, ගෘහාශ්‍රිත ප්‍රභව මඟින් 20% ක් ද ලෙස ගණනය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ වායු දූෂණයේ ප්‍රධානම ප්‍රභවය වන්නේ රථවාහන මඟින් සිදුවන වායු දූෂණයයි. ඉන්ධන දහනය තුළින් විමෝචනය වන්නා වූ වායූන් ලෙස හයිඩ්‍රජන් ඔක්සයිඩ වර්ග, වාෂ්පශීලි කාබනික සංයෝග හෝ හයිඩ්‍රොකාබන, කාබන් මොනොක්සයිඞ්, කාබන් ඩයොක්සයිඞ්, සල්ෆර් ඩයොක්සයිඞ්, අංශුමය ද්‍රව්‍ය හා ලෙඞ් හඳුන්වා දිය හැකිය. මේ වායූන්ගෙන් බොහෝමයක් ගෝලීය උණුසුමට හේතු වන හරිතාගාර වායූ වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුව 2008 වර්ෂය තුළදී ශ්‍රී ලංකාව තුළ වූ වාහන සංඛ්‍යාව 3,390,993 කි. එය 2016 වර්ෂය වන විට 6,334,942 කි. මේ වන විට එය තවත් ඉහළට ගොස් ඇති බවට අප කවුරුත් සාක්ෂි දරනවා ඇත. මෙලෙස රථවාහන සංඛ්‍යාව අධික වන විට සිදුවන්නා වූ වායු දූෂණ ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යයි. අද වන විට ශ්‍රී ලංකාව වායු දූෂණයේ ප්‍රධාන රටවල් 25 අතරට ද අයත් වී ඇත.

වායු දූෂණය නිසා සිදුවන්නා වූ පාරිසරික බලපෑම, සෞඛ්‍යමය බලපෑම මෙන්ම ආර්ථික බලපෑම අති මහත්ය. වායු දූෂණයෙන් සිදුවන පාරිසරික බලපෑම සලකා බලන කල එය ආකාර කිහිපයක් ඔස්සේ සිදුවිය හැකිය.

පාරිසරික බලපෑම

මෙය ප්‍රධානකොටම ගෝලීය උණුසුම, අම්ල වැසි ඇතිවීම වැනි ක්‍රියා නිසා බහුලවම සිදුවේ. ඉහතින් විස්තර කරන ලද ආකාරයට ගෝලීය උණුසුම සඳහා දායක වන විවිධ වායූන් වර්ග මිනිසාගේ අනුදැනුම මත හෝ අනුදැනුමකින් තොරව විශාල ලෙස පරිසරයට විමෝචනය වීමෙන් මෙම ක්‍රියාවලිය අද වන විට ඉතාමත්ම තදින් සිදු වී ඇති බව අප කාහටත් දැන් නොරහසකි. එය ගහ කොළ, සතා සිවුපාවාට ද දරාගත නොහැකි බව මෑතකදී ඔස්ට්‍රේලියාවේ ඇති වූ ලැව්ගින්න මඟින් පසක් වනු ඇත.

එහිදී ලෝක ජෛව විවිධත්වයෙන් මිලියන ගණනක් ජීවින් අපට අහිමි විය. එහිදී එරටට ආවේණික (ඒකදේශීක) ජීවින් කොතරම් ප්‍රමාණයක් එරටින් තුරන් වී ගියේදැයි තවමත් ගණන් බලා අවසන් නැත. එමෙන්ම එහි අතුරු ප්‍රතිඵල ලෙස අද වන විට එරට රජයට පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල ලෙස ජල පාරිභෝජනය කරනු ලබන ඔටුවන් වැනි ජීවීන් මරා දැමීම ද සිදුව ඇත. මේ වන විට එම සතුන්ගෙන් 10,000 කට වඩා ජීවිත අහිමි වී ඇත.

රථවාහන ගමනාගමනයේදී සැලකිය යුතු වායු ප්‍රමාණයක් පරිසරයට එක්වන අතර අද බහුලවම මුහුණ පාන ගැටලුවක් වන රථ වාහන තදබදයේදී වාහන එන්ජිම එක් ස්ථානයක බොහෝ වේලා ක්‍රියාකාරීව තිබීමෙන් විශාල ඉන්ධන දහනයක් සිදුවේ. මෙමඟින් මුක්ත වන්නා වූ හරිතාගාර වායූන්වල ප්‍රතිඵලයක් ලෙසින් ඉහළ යන්නා වූ ගෝලීය උණුසුම මගින් තවත් අහිතකර බලපෑම් කිහිපයකටම අතවනනු ඇත. එනම් ධ්‍රැවාශ්‍රිත ප්‍රදේශවල ග්ලැසියර් දියවීම, කඳු මුදුන්වල හිම තට්ටු දියවීම මේ අතර වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාගර ජල මට්ටම ඉහළ ගොස් මාලදිවයින වැනි දූපත් සම්පූර්ණයෙන්ම පාහේ යට වී යෑමට ලක්විය හැකිය.

ගෝලීය උණුසුම ඉහළ යෑමෙන් කාලගුණික හා දේශගුණික රටාවන්හි වෙනස්වීම් සිදුවීමද බහුලවම දැකගත හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ ඇතැම් ප්‍රදේශවලට ජලහිඟයකට මුහුණ දීමට සිදුවන අතර තවත් ප්‍රදේශ අධික ජල ගැලීම්වලට ලක්වේ. මෙමඟින් ඉතා ස්වයංපෝෂිත ප්‍රදේශ විනාශ වී යෑම දැකගත හැකිය.

වායුගෝලීය උෂ්ණත්ව ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පසෙහි උෂ්ණත්වය ඉහළ ගොස් එහි පෝෂක තත්ත්වය පරිහානියට පත්වී ශාකවල වර්ධනය අඩාළ කර ඒවායේ අස්වැන්න අඩුකරවයි. ජලජ පරිසර පද්ධතීන්වලින් ජලය වාෂ්පීකරණය ඉහළ ගොස් වායුගෝලය තුළ ජලය, ජල වාෂ්ප ලෙසින් ඒකරාශී වීම සිදුවේ. මෙලෙසින් ඒකරාශී වන්නා වූ ජල වාෂ්ප හරිතාගාර වායුවක් වන බැවින් එමඟින් ගෝලීය උණුසුම් වීම තව තවත් වැඩිවනු ඇත. එමෙන්ම සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වූ විට කොරල්පර කෙරෙහිද බලපෑම් ඇතිකොට ඒවා වියෝජනය වී අවසානයේ විනාශ වී යෑම සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු ගොඩබිමට පැමිණීමේ අවදානම වැඩි වේ.

අධික රථවාහන තදබදය නිසා ඇතිවන අනෙක් ප්‍රධාන දුර්විපාකය වන්නේ අම්ල වැසි ඇතිවීමයි. වාහනවල ඉන්ධන දහනයෙන් මුක්ත වන සල්ෆර් ඩයොක්සයිඞ් හා නයිට්‍රජන් ඔක්සයිඩ ඉහළ වායුගෝලයේදී ඔක්සිකරණය වී වැසි ජලය සමඟ මිශ්‍රව නයිට්‍රික් අම්ලය හා සල්ෆියුරික් අම්ලය ලෙස පොළොවට පතිත වේ. එහි අහිතකර බලපෑම් අතර ශාක ආවරණය මත ඇතිවන බලපෑම, පුරාවිද්‍යා ස්මාරක හා ගොඩනැඟිලි මත ඇතිවන බලපෑම මෙන්ම ස්වභාවික ජලාශ තුළ සිදුවන බලපෑම පෙන්වා දිය හැකිය.

අම්ල වැසි ශාක ආවරණය මත ඇති කරන බලපෑම විමසීමේදී දැකගත හැකි කරුණක් වනුයේ සල්ෆර් ඩයොක්සයිඞ් මෙන්ම නයිට්‍රජන් ඩයොක්සයිඩ හරිත විෂ (Phytoxic) ලෙසට ක්‍රියා කරන බවයි. මෙයින් සල්ෆර් ඩයොක්සයිඞ් අධිශාක විෂ වන අතර සල්ෆර් ඩයොක්සයිඞ් හා නයිට්‍රජන් ඩයොක්සයිඞ් තනි ව පවතින විට ඇති වන තත්ත්වයට වඩා ද්විත්ව ක්‍රියාකාරීත්වය හානිදායක වේ.

වැඩිතර ආම්ලිකතාව ද ශාක කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. එනම් ph අගය 3.5 ට වඩා අඩු වූ විට බොහොමයක් ශාකයන්හි පත්‍රවල හරිත වර්ණක විනාශ වීම. එමඟින් භෝග වගාවන්හි ඵලදාව අඩු වීම, බීජවල ප්‍රරෝහණය මෙන්ම වර්ධනය ද ඇණහිටීම සිදු වේ. එයට අමතරව පාංශු රසායනයෙහි වෙනස්කම් ඇති වීම ද සිදුවේ. අම්ල වැස්සෙහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්වසන ආබාධ ඇති කිරීමෙන් මානව සෞඛ්‍යය කෙරෙහි ද අහිතකර අයුරින් බලපානු ලබයි.

එමෙන්ම පුරාවිද්‍යා ස්මාරක හා ගොඩනැඟිලි මත ද බලපෑම් ඇතිකරනු ලබයි. මෙහිදී ස්මාරකවල පිටතින් පවතින කැල්සියම් කාබනේට් ස්ථරය සල්ෆොනීකරණය නම් වූ ක්‍රියාවලියක් මඟින් කැල්සියම් සල්ෆේට් බවට පත්වන අතර එමඟින් එය ඉතා ඉක්මණින් කැඩෙනසුලු, ජලය උරාගන්නා තත්ත්වයට පත් වේ. එමෙන්ම පුරාවිද්‍යා ස්ථානවල ඇති ගල් හා ඉපැරණි තීන්ත ආලේපන දිය වී යෑම ද සිදුවේ. මෙමඟින් ලංකාවේ සීගිරිය වැනි ලෝක උරුමයන් ද තර්ජනයට ලක්වේ. යුරෝපයේ සමහර පල්ලිවල ඇති වර්ණ ගන්වන ලද ජනෙල්, වීදුරු අම්ල වැසි මඟින් දිය වී යෑමට ලක් වී තුනී වීම සිදුවේ. මෙයට අමතරව අම්ල වැස්සෙහි බලපෑමට නතු ව දැඩි අවදානමට ලක් ව ඇති ස්ථාන අතර මවුන්ට් එම්හි ලෙෂාන් බුද්ධ ප්‍රතිමාව, ග්‍රීසියේ ඇතන්ස්හි ඇක්රොපොලිස් නම් ඉපැරණි බළකොටුව, ඉන්දියාවේ සුප්‍රසිද්ධ සිහිවටනයක් වන ටජ්මහල, ඔස්ට්‍රේලියාවේ ඩැම්පයර්හි ශෛලීය චිත්‍ර සංකීර්ණය, ලොග්මන් ග්‍රොටෝස් නම් චීනයේ ඇති බුද්ධ ප්‍රතිමා සහිත ලෙන් ද වේ. මෙයට අමතරව අම්ල වැසි මඟින් ස්වාභාවික ජල පද්ධතිවල වෙසෙන ජලජ ජීවින්ට දැඩි ලෙස බලපෑම් ඇතිකරනු ලබයි. සෑම ජීවියකු සඳහාම ජීවත් වීම සඳහා බලපානු ලබන ප්‍රශස්ත ph අගයක් පවතී. මේ ph අගය ජීවින්ට දරාගත නොහැකි අයුරින් වෙනස් වූ විට ජීවි ගහණය විනාශ වී යනු ඇත. ජලජ ජීවින් කිහිප දෙනකු මත බලපානු ලබන අවධි ph අගයන් අතර, ගොලුබෙල්ලා ph6, සැලමන්දරා ph5, මට්ටිටා ph6, මැඩියා ph4, trout (මිරිදිය මත්ස්‍ය විශේෂයක්) ph5,

අම්ල වැස්ස මඟින් ජලජ ජීවින්ට මෙන්ම භෞමික ජීවින්ට ද හානි වීම සිදු වේ. එමඟින් ආහාර දාම බිඳ වැටී මුලු මහත් වූ පරිසර පද්ධතිය කෙරෙහිම බලපෑම් ඇති කිරීම නොවැළැක්විය හැකිය.

සෞඛ්‍යය කෙරෙහි ඇතිවන බලපෑම

මානව සෞඛ්‍යය මත ඇතිවන බලපෑම සලකා බලන කල ඉන්ධන දහනයෙන් පිටවන හයිඩ්‍රොකාබන් හිරු එළිය ඇති විට නයිට්‍රජන් ඩයොක්සයිඞ් සමඟ ක්‍රියා කර ඕසෝන් නිපදවීම සිදු කරයි. මෙලෙසින් මතුපිට වායුගෝලයේ නිපදවෙන ඕසෝන්, ඉන්ධන දහනයෙන් පිටවන කුඩා අංශූන්, හිරු එළිය හා තාපය සමඟ ක්‍රියා කොට දුම් සහිත පටලයක් (smong) නිර්මාණය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්වසන ආබාධ ප්‍රධාන වශයෙන් ඇදුම වැනි රෝගී තත්ත්වයන් ඇති වීම ද, පිළිකා ඇති වීම ද සිදු වේ. එමෙන්ම ලෝකයෙන්ම වසරකට 30,000 ක් පමණ නොමේරූ මරණ ඇති වීම ද සිදු වේ. වායු දූෂණය මැනීමට භාවිත කරන දර්ශකයන් ලෙස වායු තත්ත්ව දර්ශකය (Air quality Index/AQI) හඳුන්වා දිය හැකි අතර එමඟින් නගරවල වායු දූෂණ ප්‍රතිශතය ගණනය කරනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මානව වාසයට ප්‍රශස්ත පාරිසරික වායු තත්ත්ව දර්ශකය 25 ට වඩා අඩු අගයක් විය යුතු නමුත්, ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මඟින් සිදු කළ පරීක්ෂණයකදී, කොළඹ නගරය තුළ මේ අගය 153 ක් ලෙසට වාර්තා වී ඇත. එබැවින් මේ මට්ටම මානව සෞඛ්‍යය කෙරෙහි කෙතරම් වූ බලපෑම් ඇති කරනවා ඇත් ද යන්න සොයා බැලිය යුතුය. මේ අගය මෙයින් නොනැවතී පවතින්නා වූ රථවාහන තදබදය හේතුවෙන් තවදුරටත් වැඩි වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

මෙරට වායු දූෂණය උපරිම නගරය ලෙසට මේ වන විට හඳුනාගෙන ඇත්තේ මහනුවර නගරයයි. එහි වායු දූෂණය කොළඹ මෙන් තුන් ගුණයක් බව මහාචාර්ය ඉලේපෙරුම මහතා පවසයි. වාහන තදබදය හේතුවෙන් පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ගමන් කළ හැකි වාහනයක වේගය පැයට කිලෝමීටර් 4 ක වේගයකට සීමා වේ. මෙහිදී පිට වන්නා වූ අධික දුමාරය හේතුවෙන් ඉහතින් විස්තර කළ අයුරින් ඇති වන්නා වූ දුම් සහිත පටලවල ඝණත්වය වැඩි වී පෘථිවි පාෂ්ඨයට ලැබෙන පාරජම්බුල කිරණ ප්‍රමාණය අඩු කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙසට ජීවි දේහ තුළ විටමින් ඩී නිපදවීම අවම වී රිකට්සියාව වැනි රෝගී තත්ත්වයක් ඇති වීම සිදු වේ. එමෙන්ම ඇස් කැසීම, නියුමෝනියාව වැනි තත්ත්වයන් ද ඇති වේ.

සමාජ හා ආර්ථික ගැටලු

මෙතෙක් විස්තර කරන ලද්දේ වාහන තදබදය ආශ්‍රිත දුමාරයෙන් සිදු වන පාරිසරික ගැටලු හා සෞඛ්‍යමය ගැටලුය. එහෙත් මෙයට අමතරව අප නොසිතන අයුරින් සමාජීය හා ආර්ථික ගැටලු රාශීයක් ද මෙමඟින් ඇති වේ. එනම් එහි සැඟව ඇති පැතිකඩක් ලෙසට ආතතිය ඇති වීම පෙන්වා දිය හැකිය. එක්සත් රාජධානියේ සිදු කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ 6% ක ගෘහස්ථ ප්‍රචණ්ඩතාවයක් වාහන තදබදය නිසා ඇති වන ආතතියෙන් සිදු වන බවයි. ආතතිය සඳහා බලපානු ලබන හෝර්මෝන වන ඇඩ්‍රිනලීන්, කොර්ටිසෝල්, නොරැඩ්‍රිනලීන් ස්‍රාවය අධික වූ විට මිනිසුන්ගේ ආවේගකාරී හැඟීම් උත්සන්න වීම සිදු වේ.

වාහන තදබදය දළ දේශීය නිෂ්පාදිතයට ද(Gross Domestic Production) ඉතා තදින් බලපෑම් ඇති වේ. 2016 වර්ෂය සලකා බලන විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහත වගුවෙහි පරිදි ගණනය කළ හැකිය. එම වගුවට අනුව එක් පුද්ගලයකුගෙන් විනාඩියක් වාහන තදබදය නිසා අපතේ යෑමට ලක් වුවහොත් ඔහුගෙන් රුපියල් 11.94 ක දළ දේශීය නිෂ්පාදිතයක් අඩු වේ. මෙවැනි පුද්ගලයන් සිය දෙනකු විනාඩි දහයක් වාහන තදබදයට ලක් වුවහොත් ඒ සඳහා දළ දේශීය නිෂ්පාදිතයට වන බලපෑම් රුපියල් :11.94 x 100 x 10) =11940ග00 කි. දළ දේශීය නිෂ්පාදනය පහළ යෑම රටේ සංවර්ධනයට සුවිශාල හානියක් කරයි.

(වගුව බලන්න)

රථවාහන තදබදයට පිළියම්

මෙයට දසවර්ෂයකට පෙර සිටම මෙම තත්ත්වය හඳුනාගත් එවකට ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවිධ ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියාවට නැංවීම මඟින් රථවාහන තදබදය අවම කිරීමට කටයුතු සම්පාදනය කළද එය නිසියාකාරව ඉටුකරගත නොහැකි විය. නමුත් ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපති ලෙස ඔහුට දැන් එම කාර්යය සාර්ථකව නිම කර සමස්ත ලංකාවාසී ජනතාවට සහ රටේ සෞභාග්‍යයට අතිමහත් සේවයක් කිරීමට හැක. ඒ සඳහා විද්වතුන්ගේ සහය ද නොමඳව ඔහුට ලැබෙනු ඇත.

අප දක්නා ලෙස රටක ආයෝජකයන් වැඩිකර ගැනීමට එරටෙහි වාහන තදබදය අවම කර දළ දේශීය නිෂ්පාදනීතාවය (GDP) ඉහළ දමාගත යුතුය. එසේ නම් ඒ සඳහා රට තුළ ඇති මංමාවත් සියල්ල නැතහොත් යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුය. මේ වන විට ගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවල දායකත්වයෙන් අප රට තුළ මංමාවත් කිලෝමීටර් ලක්ෂයක් දිගට විවිධ ස්ථානවල සංවර්ධනයට කටයුතු සම්පාදනය කර ඇති අතර එය ඉතා නුදුරේදීම ක්‍රියාවට නැංවීමට නියමිතය.

එමෙන්ම කොළඹ නගරයට ඇතුළු වීම සඳහා අපගේ වාරිමාර්ග පද්ධතිය නවීකරණය කර නාවික ගමනාගමනය ද වැඩිදියුණු කරනු ඇත. තවද කොළඹට ඇතුළුවන වාහන නවතා තැබීමට ප්‍රධාන ස්ථාන කිහිපයක් සකස් කර එම ස්ථානවලට අන්තර්ජාල පහසුකම් පවා ඇති නවීන තාක්ෂණික දුම්රිය පද්ධති, බස් සේවාවන් යනාදිය ද එක් කළ යුතුය.

එමෙන්ම කොළඹ නගරය තුළ රථවාහන තදබදය අවම කරවීම සඳහා තාක්‍ෂණික පිළිතුරක් ලෙස මේ වන විටත් අතිගරු ජනාධිපතිතුමා විසින් මිලිටරි පොලිසිය දායක කරගෙන ඇත. එමඟින් කොළඹ ජනයාට මේ වන විට ලැබී ඇති සහනය ඔවුන් අත්විඳිනු ඇති බව නොඅනුමානය.

නව අදහස දක්වන්න