චාල්ස් හෙන්රි ද සොයිසා ශ්‍රීමතාණෝ | දිනමිණ

චාල්ස් හෙන්රි ද සොයිසා ශ්‍රීමතාණෝ

(2020 මාර්තු 3 වන දිනට යෙදුණු ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා මැතිඳුන්ගේ 184 වන ජන්ම දිනය නිමිත්තෙනි)

සාමදාන විනිසුරු ජෙරෝනිස් ද සොයිසා වාසලමුදලිතුමාගේත් සොයිසා ආර්යාවගේත් එකම පුතු වූ චාල්ස් හෙන්රි ද සොයිසා මැතිඳු 1836 මාර්තු 3 වන දින මෙලොව එළිය දුටුවේය. රුපියල් අටසියයකින් ව්‍යාපාර කටයුතු ආරම්භ කළ දේශීය වෛද්‍යවරයකු වූ ජෙරොනිස් ද සොයිසා වාසලමුදලිතුමා රුපියල්මිලියන ගණනක ආදායමක් ලැබීමට තරම් ස්වකීය උත්සාහයෙන් සිය ව්‍යාපාර කටයුතු දියුණු කළේය. තම ධනය වැයකොට දේවස්ථාන මෙන්ම මාර්ග ඉදිකරමින් ප්‍රදේශවාසීන්ගේ සුබසිද්ධිය ද සැලසීම වෙනුවෙන් ජෙරොනිස් ද සොයිසා මැතිඳුන්ට ‘මුදලි’ තනතුරක් ද හිමිවිය. මෙවන් පවුල් පරිසරයක වැඩුණු අප කථානායකයාණන් ධනවතෙකු වීමත් එතැනින් නොනැවතී දන්දීමට හුරුවීමත් පුදුමයක් නොවේ. මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භක සිසුන්ගෙන් කෙනෙකුවූ චාල්ස් හෙන්රි ද සොයිසා තරුණයා තම පියාගේ වතු ව්‍යාපාර දියුණු කරමින් පියා ආරම්භ කළ එහෙත් අවසන් කිරීමට නොහැකි වූ සමාජ සුබසාධන කටයුතු සාර්ථකව නිම කළේය. තම පියා විසින් ආරම්භ කළ මොරටුව ඉඩම ගමේ තිබූ ‍ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානයේ වැඩ අවසන් කරන ලද්‍දේ මෙතුමායි.

මුළු ශ්‍රී ලංකාවම 1815 දී අත්පත් කරගත් ඉංග්‍රිසින් විසින් 1833 න් පසුව ක්‍රියාත්මක කළ කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස වතු වගාව ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන බලවේගය බවට පත් විය. කෝපි වතු වගාව ශීඝ්‍රයෙන් දියුණුවට පත් වූ අතර කෝපි වගාවට රෝගයක් වැලඳුනු පසු තේ වගාව ජනප්‍රිය විය. ලංකාවේ ප්‍රථම වැවිලිකරු වූ චාල්ස් හෙන්රි ද සොයිසා මැතිඳුන් 1960දී නුවර බැංකුව සමඟ ගනුදෙනු කරමින් ලංකාවේ ප්‍රථම බැංකු ගනුදෙනුකරු ද වූයේය. ලංකාවේ ගොවිපළ සංකල්පය (State Farm) ඇති කිරීමට පුරෝගාමී වූ චාල්ස් හෙන්රි ද සොයිසා මැතිඳුන් නාරාහේන්පිට පිහිටි අක්කර 160ක බිම් ප්‍රමාණයක ‘ඇල්ෆ්‍රඩ් ආදර්ශ ගොවිපළ’ ආරම්භ කළේය. කෘෂි නිෂ්පාදන වර්ධනය කිරීමටත් ගොවීන්ට නේවාසිකව කෘෂි උපදෙස් ලබා ගැනීමටත් එමඟින් ඉඩ සැලසිණි. කෘෂිකාර්මික බීජ වර්ග වෙනත් රටවලින් ආනයනය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූයේ ද චාල්ස් මැතිඳු ය. මෙම කර්තව්‍ය අගය කළ එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් මෙතුමාට සමාදාන විනිසුරු පදවියක් පිරිනමන ලදී.

ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමෙන් ලද උගත්කමත් ධනවාදී ආර්ථිකය තුළ පුද්ගලික ව්‍යවසාය වර්ධනය වීමෙන් ඇති වූ ධනය හිමිකමත් මත ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියක් බිහිවිය. 20 වන සියවස ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ ‘ජාතික ව්‍යාපාරය’ ආරම්භ විය. 1882 දී චාල්ස් හෙන්රි ද සොයිසා මැතිඳුන් විසින් ලංකා කෘෂිකර්ම සමිතිය ආරම්භ කරන ලදී. තවද එතුමා විසින් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස පනවා තිබූ පොල් බද්ද මොරටු වැසියන් වෙනුවෙන් ගෙවා දමා පොල් වගාව ශක්තිමත් කරන ලදී. ලංකා කෘෂිකර්ම සමිතිය පසුව ලංකා ජාතික සංගමය (1888) බවට පරිවර්තනය වූ අතර ලංකා ජාතික සංගමය, සභාපති ජේම්ස් පීරිස් සහ ලේකම් ඩී.ආර්. විජයවර්ධන (ලේක්හවුස් නිර්මාතෘ) යන මහතුන්ගේ මගපෙන්වීම යටතේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබා ගැනීමට මූලික විය. ලංකා ජාතික සංගමය පසුකාලයේ දී නිදහස ලබා ගැනීමට මුල් වූ ලංකා ජාතික කොංග්‍රසය බිහි වීමට හේතු විය. චාල්ස් හෙන්රි සොයිසා මහතාට දේශපාලන අරමුණු නොවූ අතර ඔහු සැබවින් ම ජනතා අවශ්‍යතා කෙරෙහි සංවේදී වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් විය. මොරටු වඩු කාර්මිකයන්ගේ සංගමය මෙන්ම මොරටු සමුපකාර සමිතිය ඇති කිරීමට ද චාල්ස් මැතිඳු පුරෝගාමී විය.

‍ 1870 දී එඩින්බරෝආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේදී කොල්ලුපිටියේ පිහිටි බගතලේ වලව්වේදී පැවැත්වූ භෝජන සංග්‍රහයේදී චාල්ස් මැතිඳුන් රාජකීයයන්ට සංග්‍රහ කර තිබුණේ රත්රන් පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු අදියෙනි. රජගෙදර ප්‍රභූන් සහ ආණ්ඩුකාරවරුන් සමග උරෙන් උර ගැටුන ද පොදු ජනයා අමතක නොකර ඔවුන් අතර ගැවසෙමින් ඔවුන්ට සෙත සැලසූ මෙතුමා නිරහංකාර දානපතියෙක් විය.

1876 දී ගාලු පාරටත් ලුනාව කලපුවටත් මායිම්ව පිහිටිඅක්කර 15ක භුමි භාගයක වේල්ස් කුමර සහ වේල්ස් කුමරි යන පාසල් ගොඩනගා එහි නඩත්තු කටයුතු සඳහා අහංගම පිහිටි පොල් හා රබර් වතු යායක් පරිත්‍යාග කළේය. 1961 දී විදුහල් රජයට පවරා ගන්නා තුරුම විදුහලේ නඩත්තු කටයුතු සිදුකිරීමට එම ආදායම මහෝපකාරී විය. මෙම වසරේදී සිය 144 වන සංවත්සරය සමරන වේල්ස් කුමර සහ කුමරි විදුහල් ද්වය ‘පියවරෙන් පියවරට මම සේවය කරමි’ යන උද්ධෘත පාඨය අනුව යමින් සුවහසක් සිසු සිසුවියන්ගේ නැණස පාදා දීමට වාසනාවන්ත වී ඇත.

1890 සැප්තැම්බර් 29 දින චාල්ස් හෙන්රි ද සොයිසා මැතිඳු මෙලොවින් සමුගත්තේය. සොයිසා මැතිඳුන්ගේ වියෝවින් පසු 1891 දී වික්ටෝරියා රැජින විසින් චාල්ස් මැතිඳුන්ට පිරිනැමීමට තිබූ නයිට් පදවිය කැතරින් ද සොයිසා ආර්යාවට පිරිනමන ලදී. එය ලාංකිකයකු නයිට් පදවියකින් පිදුම් ලැබූ ප්‍රථඹ අවස්ථාව ලෙස සැලකේ.

චාමලී පලිහවඩන 
වේල්ස් කුමරි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය 
ශ්‍රී ලංකා නීති විද්‍යාලය - දෙවන වසර

නව අදහස දක්වන්න