හිතා මතා පසිඳු මතට බැකෝ ටයරයක් එවුවැයි ජ’පුරේ සිසුන් 5ක් අත්අඩංගුවට | දිනමිණ

හිතා මතා පසිඳු මතට බැකෝ ටයරයක් එවුවැයි ජ’පුරේ සිසුන් 5ක් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන පසිදු හිරුෂාන් සිසුවා වෙත විශාල ප්‍රමාණයේ බැකෝ රියක ටයරයක් එවා හිතා මතාම එම සිසුවා බරපතළ අනතුරකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසරේ  සිසුන් පස් දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර එම සිසුන් අතර එම අපරාධය සැළසුම් කළ ප්‍රධාන සැකකරුද සිටින බව පොලීසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටියේ මෙම සිසුන් පිරිස බීමත්ව හිතා මතාම මෙම අපරාධය සිදු කර ඇති බවට මේ වන විට සියලු තොරතුරු හෙළිදරව් වි ඇති බවයි.

ඒ අතර අත් අඩංගුවට ගත් මෙම සිසුන් පස් දෙනාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු හෙළිදරව් කර ගැනීම පිණිස ප්‍රකාශ සටහන් කරගෙන යන බවත් මේ වන විට මොවු එම අපරාධය සිදුකිරීමට සෟජුවම සහයෝගය ලබා දී ඇති බවටත් තොරතුරු අනාවරණය වි ඇති බවද පැවසේ . පොලීසිය පවසා සිටින්නේ මෙම සැළසුම් සහගත අපරාධය ඝාතන සැළසුමක් හා සමාන අපරාධයක් බවයි මේ වන විටත් පසිදු කොළඹ ජාතික රෝහලේ ජීවිතයත් මරණයත් අතර තත්ත්වයක පසුවෙමින් සිටින අතර එමරෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් ඔහුගේ ජීවිතය යම් තරමකින් හෝ ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිටිති .

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ගෙන යන අතර සිද්ධියට සම්බන්ධ සෑම කෙනකුම අත් අඩංගුවට ගෙන ඔවුන් නීතිය ඉදිරියට පැමිණ විමට අවශ්‍ය කටයුතු කරගෙන යයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් යම් තොරතුරක් දන්නා සිසුන් වෙත් නම් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන ලෙසද දන්වා සිටියි

 විජයානි එදිරිසිංහ

නව අදහස දක්වන්න