විනිසුරු පිලපිටියගේ රීට් පෙත්සම සලකා බැලීම මැයි 04දා | දිනමිණ


 

විනිසුරු පිලපිටියගේ රීට් පෙත්සම සලකා බැලීම මැයි 04දා

නෙල්කා මැදගෙදර

හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සමඟ සිදු කළ බව කියන දුරකථන සංවාද සිද්ධි සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සමක් මැයි මස 04 දින සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (12) තීරණය කළේය.

අධිකරණ ක්‍රියාවලියකින් තොරව විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් මීට පෙර නිකුත් කර ඇති නියෝගය එදින තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය තීරණය කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (12) කැඳවන ලදී.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා සඳහන් කළේ මෙකී සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙහි පෙනී සිටින ලෙස පෙත්සම්කරුට නියෝග කරමින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇති බවය. ඒ අනුව මෙකී සිද්ධිය පිළිබඳව අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. එසේම අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව පෙත්සම්කරුට හිමිව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සලකා බැලීම කල් තැබීමට තීරණය කළේය.

හිටපු රාජ්‍ය ඇමැති ‍රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දෙමින් නීතිපතිවරයා මීට පෙර වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබිණ. එහෙත් එම උපදෙස් අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් නීතිපතිවරයා නැවත වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබේ.

 

නව අදහස දක්වන්න