හිටපු මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ සේවය අත්හිටුවීම | දිනමිණ


 

හිටපු මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ සේවය අත්හිටුවීම

පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි ලබාගැනීමට නීතිපතිවරයාට නොතීසි

දේශපාලන බලපෑම් මත හිටපු මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කර ඔහුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි ලබාගැනීම සඳහා නීතිපතිවරයාට පෙරේදා (11) නොතීසි නිකුත් කර තිබුණි.

දේශපාලන පළිගැනීම් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස පෙරේදා (11) නීතිපති දප්පුල ද ලිවේරා මහතාට නොතීසි නිකුත් කර තිබුණත් ඔහු වෙනුවෙන් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතායි.

එහිදී අනවසරෙන් අලියෙකු ළඟ තබාගැනීමේ පැමිණිල්ලක් මත හිටපු මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ මහතාට එරෙහිව ව්‍යාජ සහතික නිකුත් කරමින් තමාගේ සේවය අත්හිටවූ බව ඒ මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව වැඩිදුර කටයුතු සාක්ෂි විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රිපුද්ගල මහාධිකරණයේ තිළිණ ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවට අදාළ ලිපිගොනුව දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේ කොමිසම හමුවට ගෙන්වා තිබේ.

එම නඩු ගොනුවේ තිළිණ ගමගේ මහතාට විරුද්ධව පනවා ඇති වන අලි නඩුවට අමතරව නීති විරෝධී ලෙස විවිධ ස්ථාන 52ක් වන අලි තබාගැනීම පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවට අනවශ්‍ය ලේඛන රැසක් ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබාදී ඇති බවද කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කළේය. ජනාධිපති කොමිෂන් සභාවට අවශ්‍ය වන්නේ තිළිණ ගමගේ මහතාගේ නඩුවේ ලිපිගොනු පමණක් බවත් අවශ්‍ය නොවන ලේඛන ජනාධිපති කොමිෂන් සභාවට ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වරදක් බව කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කළේය.

නීතිපතිවරයා වෙනුවට කොමිෂන් සභාව වෙත කරුණු ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා පැවසුවේ අගවිනිසුරු නියමයකට අනුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ අලි රොෂාන් ඇතුළු 08 දෙනෙකු සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් පවතින බැවින් එම නඩුවේ ඉදිරි වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ලිපිගොනු අවශ්‍ය බවයි.

එහිදී කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ කොමිෂන් සභාවට අනවශ්‍ය ලේඛන ඉදිරිපත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බවත් මහාධිකරණයට අවශ්‍ය ලේඛන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම නිසා කොමිෂන් සභාවේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව ප්‍රශ්න මතුවී තිබෙන බව අවධාරණය කළේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ අනවශ්‍ය ලේඛන පිළිබඳව හොඳින්ම දන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරිය බවත් ඒ නිසා ඇයට මහාධිකරණයේ පසුගියදා (10) පෙනී සිටීමට සිතාසි නිකුත් කළ බව සඳහන් කළේය. වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවකට කිසිවෙකුටත් අතගැසිය නොහැකි බවත් එයට අතගැසිය හැක්කේ ඊට වඩා ඉහළ මහාධිකරණයකින් පමණක් බව සඳහන් කළේය.

එයට පිළිතුරු ලෙස ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ තමන් ප්‍රමුඛ කොමිෂන් සභාව කටයුතු කරන්නේ අධිකාරි බලය යොදාගනිමින් බවත් ඕනෑම දෙයක් පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීම බලය පවතින බවයි. එයට පිළිතුරු දක්වමින් සරත් ජයමාන්න මහතා පැවසුවේ මේ නඩුව අධිකරණ විෂය පථයේ ක්‍රියාත්මක වන නඩුවක් බැවින් අදාළ ලේඛන අධිකරණයට භාරදෙනවාද, නැතිද යන්න ස්ථාවරය අධිකරණය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

කොමිෂන් සභාවේ බලයද, අධිකරණයේ බලතලද වැඩි කියා සංවාද කිරීම තේරුමක් නොමැති බවත් නීතිපති දෙපාර්තමේන්තුව කළ යුත්තේ අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කළ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම බව ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටිනවාද කියා සැකයක් මතුවන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අතපසුවීම් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව කිසිවක් කතා නොකරන බව පවසමින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස කොමිෂන් සභාව තරයේ දැනුම් දුන්නේය.

අවසානයේ කොමිෂන් සභාවේ සභාපතිවරයා නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිගොනු සියල්ල නැවත භාරදෙන ලෙස ලෙසයි. එහිදී කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පෙන්වා දුන්නේ කොමිෂන් සභාවේ ලේඛන යැවිය හැක්කේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් බවයි.

කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නාගහමුල්ල මහතා ප්‍රකාශ කළේ තම දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගන්නේ තොරතුරු පොත්වල නොවන බවත් පැමිණිලි සියල්ල එකම පොතක සටහන් කරගන්න බවත් එම හේතුව නිසා නීතිවිරෝධී ලෙස වන අලින් තබාගැනීමේ නඩු සියල්ල එකම ලිපිගොනුවක සටහන් කර ඇති බවයි.

එම ලිපිගොනු එකින් එක සටහන් කර තිබුණානම් ජනාධිපති කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර මෙවැනි ගැටලුවක් ඇති නොවන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

අසේල ලියනගේ

නව අදහස දක්වන්න