රවී ඇතුළු 4කගේ පෙත්සම් විභාග නොකරම ඉවත දමන්න | දිනමිණ


 

රවී ඇතුළු 4කගේ පෙත්සම් විභාග නොකරම ඉවත දමන්න

නෙල්කා මැදගෙදර

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සිද්ධි 2ක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු සිව් දෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන‍ ලෙස නීතිපතිවරයා ඊයේ (12) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම පෙත්සම් සම්බන්ධ මූලික විරෝධතා ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කරන ලදී.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු දෙකකදී රුපියල් බිලියන 51.38ක පාඩුවක් රජයට කළ බවට ඇති සිද්ධි සම්බන්ධයෙන් තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් මෙම‍ පෙත්සම් ගොනු කර තිබුණි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, හිටපු මහ බැංකු නිලධාරී සංගරපිල්ලෙයි පදුමනාපන් සහ සමන් කුමාර විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

මෙම පෙත්සම් මීට පෙර කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය පෙත්සම් සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කළේය. ඒ අනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, සෝහිත රාජකරුණා යන මහත්වරු ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙත්සම් සම්බන්ධ සිය මූලික විරෝධතා තවදුරටත් ඉදිරිපත් කළේය.

විනිසුරුවරයකු පක්ෂග්‍රාහී බව හැඟී යන්නේ නම් ඒ සම්බන්ධව ඔහු ඉදිරියේම විරෝධය පළ කළ යුතු නමුත් මෙහිදී එවැන්නක් සිදු කර නැති බව හෙතෙම කීය. වරෙන්තුවකින් තොරව පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ‍හැකියාව තිබූ නමුත් අධිකරණ ක්‍රියාවලිය අනුගමනය කිරීමට පොලිසිය කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

නව අදහස දක්වන්න