මහජන නියෝජිතයන් තෝරාගැනීමේ දී ජනතාව විමසිලිමත් විය යුතුයි | දිනමිණ

මහජන නියෝජිතයන් තෝරාගැනීමේ දී ජනතාව විමසිලිමත් විය යුතුයි

ජනතාවගේ හදගැස්ම තේරුම් ගතහැකි ජනතා නියෝජිතයන් වර්තමානයේ සොයාගැනීම ඉතා විරල කාර්යයක් වන බැවින් ජනතාව ඒ සඳහා මෙවර මහ මැතිවරණයේ දි සිය කාර්ය ඉටුකිරීමේ දී වඩාත් විමසිලිමත් විය යුතුයි.මාතලේ දිස්ත්‍රික්කය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සම්පත් මෙහි ඕනවටත් වඩා තිබුණත් එය නිසිලෙස යෙදවීමට කිසිදු දේශපාලකයකුට මෙතෙක් හැකිනොවීම කනගාටුවට කරුණක්. එබැවින් ජනතාව විසින් ඔවුන්ගේ නියෝජිතයා ලෙස තෝරාගත යුත්තේ මේ සියල්ල අවබෝධකරගත් පුද්ගලයෙක් යැයි හිටපු ඇමැති රෝහණ දිසානායක මහතා පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ පළාත්පාලන අරමුදලේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඉදිකළ මාතලේ වාරියපොල-ගොඩපොල යාකෙරෙමින් ඉදිකරන ලද නව පාලම ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව පැවති ජනහමුවේදිය.

මෙහිදි වැඩිදුරටත් හිටපු ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

වර්තමාන ජනාධිපතිවරයා වැඩකරන රාජ්‍ය නායකයෙක්. එබැවින් එතුමාගේ සංකල්පයක්වන සෞභාග්‍යයේ දැක්ම යන වැඩසටහන යටතේ මේ කෙටිකාලය තුළදි සංවර්ධන කටයුතු රැසක්කර තිබෙනවා. එමෙන්ම මෙරටේ වෙසෙන සියලු ජාතින්ට එකහා සමාන වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් සියලු මැති ඇමතිවරුන්ට උපදෙස් ලබදී තිබෙනවා. එය අතිශයින්ම වැදගත්. එතුමා කරන දෙය කියන කියන දෙය කරන රාජ්‍ය නායකයෙක්. එය ජාතිය ලැබු විශාල වාසනාවක්.

මේවනවිට රජයේ මූලික අවධානය යොමුවී ඇත්තේ ප්‍රථමයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටුකරලීමටයි. සියලු ජාතින් අතර සහෝදරත්වය වර්ධනයකර එමගින් රටේ ඉදිරි ගමන සාර්ථකකර ගැනීම මෙහි මූලික අරමුණයි.එමෙන්ම ජනතාවගේ අවශ්‍යතා ඉටුකරලීමට සීමාමායිම් බැලිය යුතු නෑ. නීතියද එයට හරස්කර ගතයුතු දෙයක් නොවේ.

අදවනවිට සියලු කොළපාට බලකොටු කැඩීබිදී සුණුවිසුනුවී යමින් පවතිනවා.ජනතාවට දැන් සියල්ල අවබෝධවී අවසන්. ඔවුන්ට අවශ්‍ය ජනතාවගේ අවශ්‍යතාවන් හදුණන ජනතාවාදී ජනාධිපතිවරයෙක්. ඒ නිසයි. ජනතාව එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධීපතිවරයා ලෙස පත්කර ගත්තේ. එබැවින් ජනාධිපතිවරයාගේ ඉදිරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ජනතාව ඉදිරි මහ මැතිවරණයේදීද පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරවීම සිකුරු යැයි දිසානායක මහතා අවසාන වශයෙන් පැවසීය.

මාතලේ දිස්ත්‍රික් සමුහ

නව අදහස දක්වන්න