පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදීමේ අරමුණින් පොහොට්ටුවෙන් කළුතරට තරග කරනවා | දිනමිණ

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදීමේ අරමුණින් පොහොට්ටුවෙන් කළුතරට තරග කරනවා

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට ඇප කැපවී ක්‍රියා කළ තමා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් ලෙස තරග කරන බව මතුගම නගරයේ මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයේදී හිටපු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් ‍මහින්ද සමරසිංහ මහතා මෙසේද කීය.මෙවර මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන හතක් ජයග්‍රහණය කරවීමටත් ඒ තුළින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයට විශාල ශක්තියක් ලබාදීමටත් හැකි වන බව කීය. එසේම එක පක්ෂයක් එක ලාංඡනයක් යටතේ තරග කිරීම තුළ පාර්ලිමේන්තුවේ බහුතර බලය රැකගත හැකි වන අතර ඒ තුළින් සුපුරුදු ඔළුගෙඩි මාරු කිරීම්, මන්ත්‍රීවරුන් මුදලට විකිණීම කළ නොහැකි වන නිසා මෙවර මහ මැතිවරණයෙන් පසුව බලයට පත් වන ආණ්ඩුව ප්‍රබල ස්ථාවර බලයක් සහිත ආණ්ඩුවක් වන බවද පැවසීය.

ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සල රැස්වීමට තමාට සහභාගි වන ලෙස ජනාධිපතිවරයා හා අගමැති කළ නිර්දේශයත් විදේශ අමාත්‍යවරයාගේ නායකත්වයෙන් ලංකාව සම අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ඉවත්වීමට හැකිවීම රටක් ලෙස ලබාගත් ජයග්‍රහණයක් බවත් ඉදිරියේදී ඇති විය හැකි බලපෑමක් වේ නම් ඉන් මිදීමට ඇති එකම විසඳුම බහුතර බලයක් ජනාධිපතිවරයාට ලබාදී එවැනි බලපෑම් අවම කර ගැනීමට ක්‍රියා කළ යුතුව තිබෙන බවත්ය.

එසේම ජාත්‍යන්තරයෙන් එන ඕනෑම බලපෑමකදී තමා රට වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපතිවරයා හා අගමැතිවරයාට පූර්ණ සහයෝගය ලබාදෙමින් ඊට නොබියව මුහුණදීමට අවශ්‍ය ‍ශක්තිය ලබාදීමට කටයුතු කරන බව අවධාරණය කළේය. මෙවර මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් ජනතාවගේ සහාය පොදුජන පෙරමු‍ණටත් ජනාධිපතිවරයාටත් ලබාදීමට තමා පාර්ලිමේන්තුවට පත් කිරීමට ක්‍රියා කරන ලෙසද ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් බහුතරයක් සෙසු ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න