ඉඩමට ඔප්පුවක් ඉල්ලන සෙම්බැට්ට මිනිස්සු | දිනමිණ

ඉඩමට ඔප්පුවක් ඉල්ලන සෙම්බැට්ට මිනිස්සු

මිනිස් සමාජයේ දුප්පත්කම භූමිකාවක් බවට පෙරළා ගනිමින් කිසිවකුගේ හව්හරණක් හෝ පිළිසරණක් නොමැතිව ජීවිත ගමනේ කර්කෂබව ලොවට කියාපාන තවත් අසරණ ජනතාවකගේ කදුළු කතාවක් පුත්තලම දිස්ත්‍රික්කයට අයත් මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අංක 608/3 වීරපුර ග්‍රාම නිලධාරි වසමට අයත් සෙම්බැට්ට දසනායකපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

1994 වර්ෂයේ සිට පදිංචි පවුල් 100ට ආසන්න පිරිසකට ඉඩම් ඔප්පු ලබා නොදීම හේතුවෙන් ඔවුහු බරපතළ ගැටලුසහගත තත්ත්වයකට මුහුණ දී ඇති බව කියති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ද.මු. දසනායක මහතාගේ මැදිහත්වීම මත ඔවුන්ට මෙම ඉඩම් ලබා දී ඇති බවත් ඉන්පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය සමයේ ඔවුන්ට ඔප්පු වෙනුවට බලපත්‍ර ලබා දී ඇති බව කියති.

නමුත් පසුකාලීනව එකී බලපත්‍ර වලංගු නොවන බව පවසා පම්බල පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව මගින් තමන්ට දීමනා පත්‍ර ලබා දෙන බව පවසා රජයේ මිනින්දෝරුවන් මගින් මිනුම් කටයුතු සිදුකළ ද මෙතෙක් තමන්ට ඔප්පු නොලැබුණ බවට ඔවුහු චෝදනා කරති.

මෙම ප්‍රදේශයේ ජීවත්වන බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කුලී රැකියාවයි. එදිනෙදා උපයා ගන්නා සොච්චම් මුදලින් සිය ජීවිකාව සරිකර ගැනීම හැර මොවුන්ට වෙන යම් ආදායම් මාර්ගයක් නොමැත.

බුලත් විටෙන්, කහට උගුරෙන් දවස ගෙවා ගනිමින් ජීවිත ගමනේ බර කර පින්නා ගත් මොවුන්ගේ මුහුණුවලින් නැගෙන දුක, අසරණකම පිටුපස අහිංසක සිනාව මොහොතකට සියල්ල අමතක කළත් අතේ කර ගැට වසන් කිරීමට තරම් ඔවුන් අපොහොසත් වන්නේ ජීවිතේ අනේක දුක්කරදර රැසක් මොවුන්ගේ ජීවිත වෙලා ගෙන තිබීම නිසාවෙනි.

අඳුරට සාප කරන සමහරු කෙදිනකවත් විදුලි බුබුළක අලෝකයක් විඳීමට වරම් ලබා නොතීබිම සේම බීමට දියපොදක් සොයා බාල මහලු සියල්ලෝම කළගෙඩි කර පින්නා ගෙන සැතපුම් ගණනාවක් පිය නගන දසුන් එමටය.

රටේ ඇතැම් පුද්ගලයන් දෙමහල්, තෙමහල් නිවාස ඉදිකරද්දී, තවත් සමහරු වායුසමනය කළ කාමරවල සුඛෝපභෝගීව සැප ගනිද්දී මොවුහු අගුපිල්වල ගෝනි කඩමාලු එළාගෙන එකට ගුලි වී නිදා ගනිති.

ගමට යාමට ඒමට පාරක් නැති කැලෑ කුට්ටි මධ්‍යයේ ඉදිවී ඇති අතුරු මාර්ගයේ ද තැනින් තැන මඩගොහොරු සහිත අලි නාවන වළවල් දැකිය හැකිය. ඉදිකර ඇති තාවකාලික නිවාසවල වහළයට සෙවිලි කර ඇති පොල් අතුවල ඉරටු පමණක් ඉතිරිව තිබේ. ඉටි රෙදි, කඩමාලු වැරහැලිවලින් ද තවත් සමහරු තමන්ගේ සිහින මාලිගාව ඉදිකර ඇත. සමහරු පැළ ඉනිවලින් අටවාගෙන ඇති පැල්පත් වෙනුවට නව නිවාස ඉදිනොකර ලතැවෙන්නේ තමන්ගේ භූමියට නිත්‍යානුකූල ඔප්පුවක් නොමැති බැවිනි. ළමයින්ට පාසල් යාමට සුදු ඇඳුමක් ඇතත් එය වැරහැලි මිස පෙනුමෙන් නිල ඇඳුමක් දැයි කිව නොහැකි තරමට අපිරිසුදුය.

වැසිකිළි, කැසිකිළි, යටිතල පහසුකම් කිසිවක් නැතිව ජීවත්වන මොවුන්ගේ ජීවිතවල අසරණකම මනාව දක්නට ලැබේ. මේ දරුවන් වැරහැලි කඩමාලු පටලාගෙන පොල්පිති ගොනා පසු පස්සේ දුවමින් සෙල්ලම් කිරීමේ දසුන දුකකට මිස සතුටකට හැරෙන්නේ නැති තරම්ය. මෙරිගෝ රවුම්, කතුරු ඔංචිල්ලා වෙනුවට අබිලි ටයර් තල්ලු කරන මොවුන්ට අනාගතයක් උදාවෙන්නේ කවදා දැයි කිව නොහැකිය.

මොවුන් යන එන මං නැති තවත් අසරණ යාචකයින් පිරිසක් ලෙස සලකා රජයෙන් ලැබිය යුතු කිසිදු වරප්‍රසාදයක් මොවුන්ට නොලැබීම බරපතළ ගැටලුවකි.

රටක රජයක් වෙනස් වූවද රාජ්‍ය නිලධාරීන් වනා හි ජනතාවට සේවයක් කිරීමට නිරන්තරයෙන් ඇප කැප විය යුතු පිරිසකි. එහෙත් මෙම ජනතාවට දේශපාලන හෝ රාජ්‍ය පරිපාලනයෙන් කිසිදු හව්හරණක් නොලැබේ.

ඇතැම් අවස්ථාවලදී පානීය ජලය වෙනුවට මොවුහු මඩ මිශ්‍ර වතුර බී පිපාසය සන්සිඳුවා ගනිති. රස බොජුන් යැයි සිතා අමු මිරිස් කරල ලුණු දියේ පොඟවා එක් වේලක් බත් පිඩ බුදින මොවුන් අනෙක් සෑම විටම ඇල්දිය වීදුරුවෙන් කහට කෝප්පයෙන් සප්පායම් වෙන්නේ ආර්ථික අපහසුතා මැද පවුල් බර කර පින්නාගෙන සිටීම හේතුවෙනි. ඔය අතරේ සමහර කාන්තාවන් වැන්දඹුවන්ය, පවුල්වල වයෝවෘද්ධයින්ද කැත්ත උදැල්ල කර පින්නාගෙන වයස පසෙකලා වෙව්ලන දෑතින් කුලියක් මලියක් කරගෙන බඩ වියත රැකගැනීමට පුදුමාකාර වෑයමක් දරති.

වැසි සමයට දෙගොඩ තලා යන රුදුරු ජල පහරට සිය ගේදොර ඉඩකඩම් මාංමාවත් සම්පූර්ණයෙන් ජලයෙන් යට වන සෑම විටකම යන එන මං නොමැතිව මොවුන් දැඩි ලෙස අසරණ වන බව ද කියති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී අයිලා ඉවෝන් මහත්මිය පවසා සිටියේ.

අපි අතිගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි අපිට ලුණුයි බතුයි කාලා හරි අපිට නිදහසේ ඉදලා මැරිලා යන්න අපිටම කියලා තැනක් තිබුණත්, අද වෙනකම් ඔප්පුවක් ලැබිලා නැහැ වෙන මොනවා නැති වුණත් කමක් නැහැ අපේ ඉඩම්වල අයිතිය තහවුරු කර ගන්න අපිට ඔප්පු ලබා දෙන්න කියලයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ එච්.ඒ. විජිත ගාමිණි මහතා - "අඩුම තරමේ අද අපි මැරුණොත් අපේ මළකඳ වළ දාන්න අපිට තැනක් නැහැ. නමට සුසාන භූමිය කිව්වට ඒක මඩ වළක ඝන කැලෑවෙන් වැහිලා තියෙන්නෙ. අඩුම තරමේ ඒ කනත්තටවත් කිසිම ලියකියවිල්ලක් නැහැ. ඒ විතරක් නෙමෙයි. අද හෙටම පොළොන්නරුව, අනුරාධපුරේ වගේ මේ ගමෙන් තමයි වැඩිම වකුගඩු රෝගීන් වාර්තා වෙන්න තියෙන්නෙ. ඇයි අපි බොන්නේ තනිකර මඩ වතුර. අපිට වතුර ලැබෙන්නෙ සතියකට එක දවසයි. අනෙක් දවස්වල අපි වැවෙන් තමයි වතුර බොන්නෙ. සල්ලි තියෙන අය වතුර මුදලට ගන්නවා. අපිට එහෙම කරන්න වත්කමක් නැහැ. අපි බළධාරින්ගෙන් ඉල්ලන්නේ ඇයි මේ සෙම්බැට්ටෙ ජනතාවට විතරක් කුඩම්මාගේ සැලකිලි කියලා."

දුලීකා මහත්මිය - "අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ කියන්නේ අපිට හරිහමන් පාරක් නැහැ වැහි කාලෙට මේ පාරවල් සේරම ගංගාව වගේ. ඒ කාලෙට අපිට යන්න එන්න පාලමක් නැහැ. අපි සති ගණන් ගෙවල්වලට වෙලා ඉන්නවා. ඡන්දෙ කාලෙට එනවා පාලම හදන්නම් කියනවා පස්සෙ ඡන්දෙන් දිනුවට පස්සෙ පාලම හැදිල්ලක් නැහැ."

ලෙස්ලි මහතා - "අපි මෙහෙ පදිංචියට ආපු දා ඉඳලා ප්‍රශ්න කෝටියකට මුහුණ දීලා ඉන්නෙ. ගෙයක් කියලා නමට තියෙන්නෙ. හෙට එළියට බහින්න කිව්වොත් යන්න වෙනවා ඇයි ඉඩමට ඔප්පු තිරප්පු නැහැ. සමහර මිනිස්සුන්ට විදුලිය නැහැ. අපිට හරිහමන් රස්සාවක් නැහැ. අපි බළධාරීන්ගෙන් ඉල්ලන්නෙ අපේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් දෙන්න කියලා."

එස්.ඒ.සන්ධ්‍යා චන්ද්‍රාණි මහත්මිය - "අපි කළගෙඩි, කෑන් කර තියාගෙන හැතැප්ම ගණන් පයින් යනවා. අපිට රස්සාවක් නැහැ. වැසිකිළි නැහැ. ඉන්න හිටින්න ගෙයක් දොරක් නැහැ. අපි පුදුම කරුමක්කාරයො. රටේ ඉන්න වැදි ජනයාටත් වඩා පහත් ජීවිතයක් අපි ගත කරන්නෙ. ප්‍රවෘත්තියක් බලන්න නැහැ. රටක තොටක වෙන දෙයක් අහන්න දැන ගන්න විදියක් නැහැ. අපි දන්නෙ නැෙඟනහිරෙන් ඉරපායනවා. බස්නාහිරින් ඉරබහිනවා කියන එක විතරයි."

ඩබ්ලිව්.ජී.ශාලිකා ක්‍රිෂාන්ති මහත්මිය - "මේ ගමේ සමර ගෙවල්වලට විදුලිය දීලා තියෙනවා. ජල සැපයුම දීලා තියෙනවා. නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස ණය දීලා තියෙනවා. ඉඩමකට ඔප්පුවක් නැතුව ෙම්වා ලබා දෙන්නෙ මොන පදනමකින්ද කියලා අපි බලධාරීන්ගෙන් අහනවා. මේ ප්‍රශ්නය අපෙන් පස්සෙ ළමයින්ට වෙන්න ඉඩ තියන්න බැහැ."

වනාතවිල්ලුව සමූහ 
කේ. ප්‍රියංකර කළුපහන

නව අදහස දක්වන්න