භීතිකාව | දිනමිණ

භීතිකාව

මාර්කට් - සුපර්මාර්කට් මිනිසුන්ගෙන් වැසී ගියේ ය. ඉන්ධන පිරවුම්හල් අසළ දිග පෝලිම් ය. මහපාරත් වෙළෙඳ පොළත් එකම ගාලගෝට්ටියක් බවට පත් විය. රටේ කිසිදු වාහන හිඟයක් නැත. ඉන්ධන හිඟයක් නැත. එහෙත් සමාජ හැසිරීමෙන් පෙනී ගියේ දුර්භික්ෂයක් අත ළඟ බවය. මිනිසුන් බියෙන් තැතිගත් කල ජීවිත අවුල් කර කර ගන්නා ආකාරය පෙරේදා දැක ගන්නට ලැබිණි. වාසනාවකට මෙන් එය කොළඹ ඇතුළු නගර කිහිපයකට සීමා විය. මේ කලබැගෑනියට හේතුව සමාජ මාධ්‍ය හා කටකතා ඔස්සේ ව්‍යප්ත වූ බොරු ආරංචි සමූහයකි. ඒවායින් කියවුණේ කොරෝනා නිසා සති කිහිපයක් කඩ සාප්පු වසා දමන බවය.

අධි රුධිර පීඩනය, හෘද රෝග, ස්වසන රෝග ආදියෙන් පීඩාවට පත්ව දිනපතා ඖෂධ ලබා ගන්නා විශාල පිරිසක් සමාජයේ සිටිති. එම රෝගීහු බලවත් කම්පනයකට පත්වුහ. සමහරු මාස ගණනකට අවශ්‍ය ඖෂධ එකවර ලබාගත්හ. ඖෂධ හිඟයක් පිළිබඳ භීතිකාවක් ද පැතිර ගොස් තිබිණි. මාස ගණනකට අවශ්‍ය ඖෂධ මිල දී ගත්ත ද ඒවා ආරක්ෂා සහිතව තබාගත හැකි පහසුකම් බොහෝ දෙනකුට නැත. සිදු වී ඇත්තේ නාස්තියක් පමණි. සමාජය කිසිදු විමසීමකින් තොරව ඉබාගාතේ හැසිරීම නිසා මුළු රටම ගිනි කන්දක් බවට පත්වීමට පුළුවන. මේ තත්ත්වය වෙනස් කළ හැක්කේ සමාජය දැනුම්වත් කිරීමෙන් පමණි. රටේ පිළිගත් ජනමාධ්‍ය එහි වගකීම් භාරගත යුතුව තිබේ.

රටේ වෙළෙඳපොළ හැසිරවී‍ෙම් නිල බලයක් රජයට තිබේ. කඩ සාප්පු හා ඔසුසල් වසා දමන්නේ නම්; ඒවා විවෘතකොට ජනතාවට සහන සැලසී‍ෙම් හැකියාවක් රජයට තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවුවහොත් ඊට පිළියම් යෙදීමට ද රජයට හැකියාවක් තිබේ. ජනතාව දැන් අනුගමනය කරමින් සිටින්නේ අඬුව තිබියදී අත පුච්චා ගැනීමේ ක්‍රමවේදයකි. මේ අතර කූට වෙළෙන්දෝ තම මඩිය තරකර ගැනීම සඳහා ද ක්‍රියා කරති. ඒ අනුව තත්ත්වය තවත් උත්සන්න විය හැකිය. වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සේම තත්ත්වයෙන් බාල භාණ්ඩ අලෙවියත් මේ අතර සිදුවෙයි. වෙළෙඳපොළක සියලු දුෂ්ප්‍රයෝග මෙවන් අවස්ථාවලදී භාවිත වෙයි. සියල්ලට මුල අනවශ්‍ය බිය හා සැකය යයි කිව හැකිය.

කොරෝනා වසංගතය ඉදිරියේ චීනය සිය කටයුතු කළමනාකරණය කර ගන්නා ආකාරය විමසුවහොත් අපට ඉන් බොහෝ පාඩම් උගත හැකිය. කොරෝනා වෛරසය හටගත්තේ චීනයෙන්ය. වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ ද චීනයේ ය. වෛරසයට හේතු සාධක විමසන අතර රෝග පාලනයට වහා පියවර ගත් චීන රජය එයින් සාර්ථක ප්‍රතිඵල ලබමින් සිටියි. මීට පෙර සාර්ස් වෛරසය නිසා චීනය බලවත් පීඩාවකට පත්වුව ද ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබුවේ නැත.

චීනය ඉතා ශක්තිමත් ලෙස කොරෝනා අර්බුදයට මුහුණ දෙයි. චීන නායකයා පෙන්වා දෙන අන්දමට ඉතා සුළු කාලයකින් මේ අර්බුදය ජය ගැනීමට හැකියාව තිබේ. විශ්වාසයත්, සාමුහිකව වැඩ කිරීමත් ඉතා වැදගත් ය. ශ්‍රී ලංකාවේ අපද එබඳු තැනකට යා යුතුය.

ඉතියෝපියාව යනු වසර දහයකටත් අධික දීර්ඝ නියඟයකට හා බරපතළ දුර්භික්ෂයකට මුහුණ දුන් අප්‍රිකානු රාජ්‍යයකි. කාලයක් එරට පැවතියේ ලෝක ආධාර මතය. දරිද්‍රතාව ඇරෙන්නට දේශපාලන අර්බුද ගණනාවකට මුහුණ දෙන්නට ද ඉතියෝපියා ජනතාවට සිදු විය. එහෙත් අදවන විට ඉතියෝපියාව පවතින්නේ අප්‍රිකාවේ දියුණු වෙමින් පවතින රාජ්‍යක් හැටියටය. රටේ කෘෂිකර්මය, විදුලිය නිෂ්පාදනය, නව කර්මාන්ත ශීඝ්‍ර දියුණුවක් ලබන්නට පටන්ගෙන තිබේ. එහි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් හරි අඩක් කාන්තාවන් වෙති. ආර්ථිකයේ පමණක් නොව දේශපාලනයේ අලුත් වෙනසක් ඇතිකිරීමට ඉතියෝපියාව සමත් වී ඇත. මේ සියල්ල පසුපස ඇත්තේ ඉතියෝපියානු සාමුහිකත්වයයි.

කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය සැලසුම් සහගත වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එය ආරම්භ වූයේ කොරෝනා පිළිබඳ භීතිකාවක් රට තුළ පැතිර යන්නටත් පෙර සිටය. එතැන් සිට මේ දක්වා ගෙන ඇති සෑම පියවරක්ම අර්ථදායක ය. ප්‍රතිඵල සහිතය. විශ්වවිද්‍යාල, පාසල්, පෞද්ගලික පංති, දහම්පාසල් හා ළදරු පාසල් තාවකාලිකව වසා දැමීමත් ඉතා වැදගත් පියවරකි. ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාව සඳහා තාවකාලික ගුවන් ගමන් තහනමක් පැනවීමද වැදගත් තීරණයකි. එම රටවල් තුනෙහි කොරෝනා වෛරසයෙහි ශීඝ්‍ර ව්‍යාප්තියක් දකින්නට ලැබේ. ඉතාලියේ සෑම නගරයකම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන ඇත. ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව හාරසියය ඉක්මවා ඇත. මේවනවිට රටවල් එකසිය විසිහතක් පුරා රෝගය පැතිර යමින් පවතී.‍

ශ්‍රී ලංකාව බරපතළ තත්ත්වයක පසුවන්නේ නැති බව පැහැදිලි කාරණයකි. කොරෝනා රෝගීන් දෙදෙනකු රටින් වාර්තා වී ඇතත් කිසිදු මරණයක් සිදු වී නැත. ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු කොරෝනා රෝගියා වූ චීන කාන්තාව රෝගය සුවපත් කරගෙන සිය මවු රට කරා නැවත ගිය බවද සිහිපත් කළ යුතු ය. රටේ වෛද්‍ය ක්ෂේත්‍රය මෙන්ම ආරක්ෂක අංශ, කොරෝනා මර්දනය සඳහා බලවත් කැපවීමකින් ක්‍රියා කරන අතර ඊට අවශ්‍ය පහසුකම් රජය නොඅඩුව ලබා දෙයි. තවත් නිරෝධායන මධ්‍යස්ථාන ‍ෙදකක් ඊ‍ෙය් විවෘත කළේය. කොරෝනා රෝගීන් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ පසුවිපරම් ද සිදුවන බව වාර්තා වෙයි. මේ ක්‍රියාදාමය බලනවිට පෙනී යන්නේ සියලු ආරක්ෂක තත්ත්වයන් රට තුළ පවතින බවය. ඒ අනුව අවධානයට මිස බිය වීමට හේතුවක් නැත.

ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන එකම ජාතික ආපදාව මෙය නොවේ. ඉතිහාසයේ මීටත් වඩා බරපතළ ව්‍යසනවලට අපි මුහුණ දී ඇත්තෙමු. සුනාමි ඛේදවාචකය, තිස් අවුරුදු යුද්ධය හා තවත් බොහෝ විපත් ඒ සඳහා නිදසුන් කොට දැක්විය හැකිය. ඒ සෑම ව්‍යසනයක්ම යටපත් කොට නැගී සිටින්නට අපට හැකියාව තිබිණි. අවශ්‍ය වන්නේ සාමුහිකව හා බුද්ධිමත්ව අර්බුදයට මුහුණ දීම පමණි.

නව අදහස දක්වන්න