පුහුණු තරගය අතරමග නවතී | දිනමිණ

පුහුණු තරගය අතරමග නවතී

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ පී.සරා ඕවල් පිටියේ පැවැති සිවුදින තරගය අතරමග දී නතර කිරීමට තීරණය විය.

ඊයේ තරගයේ දෙවැනි දිනයේ සවස තේ පානයෙන් අනතුරුව මෙලෙස තරගය අත්හැර දමනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 150ක් රැස්කර තිබිණි.

ඒ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සංචාරක එංගලන්තය පළමු ඉනිමට රැස්කළ ලකුණු 463 ට පිළිතුරු ලෙසිනි. තරගය නතර කරනවිට නායක ළහිරු තිරිමාන්න ලකුණු 88ක් සහ රොෂේන් සිල්වා ලකුණු 11ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. පන්දු 115කට මුහුණදුන් තිරිමාන්න හතරේ පහර 12ක් ඉනිමට එක්කර ගෙන තිබිණි.

තිරිමාන්න සමගින් ක්‍රිකට් සභාපතිගේ පිලේ ඉනිම ඇරැඹු පැතුම් නිශ්ශංක මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර සදීර සමරවික්‍රමගේ ඉනිම ලකුණු 4කට සීමා විය. ඔවුන් දෙදෙනාම ක්‍රිස් වෝක්ස් හමුවේ දැවී ගිය අතර ඇන්ජෙලෝ පෙරේරා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 38ක් ලබා සිටියදීය.

ලකුණු 354කට කඩුලු 3ක් දැවී තිබියදී ඉනිමේ දෙවැනි දිනය ඇරුඹු එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් ශතකයක් රැස් කිරීමට සමත් විය. තරගයේ පළමු දිනයේ සිවුවැනි කඩුල්ලට ලකුණු 175කින් ගොඩනැගූ සබඳතාවට තවත් ලකුණු 15ක් එක්වෙද්දී නායක ජෝ රූට් පිටියෙන් ඉවත් කිරීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය. ශතකයට ලකුණු 5ක් පසුපසින් සිටියදී පෙපේද ජයසූරියගේ ගොදුරක් බවට පත්විය. පෙපේ සමගින් අවසන් කඩුලු 6 ලකුණු 75ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පන්දු යවන්නෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 164කට කඩුලු 6ක් බිඳ දැමූ අතර මොහොමඩ් ශිරාස් කඩුලු 2 බැගින්ද, අසිත ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ලක් බැගින්ද දවා ගත්හ.

එංගලන්ත පළමු ඉනිම - 463 (ඕවර 117.4) සැක් ක්‍රව්ලි 105, ජෝ රූට් 102, ඔලී පොපේ 95 (ප්‍රභාත් ජයසූරිය 164/6, මොහොමඩ් ශිරාස් 68/2)

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම - 150/3 (ඕවර 40) ළහිරු තිරිමාන්න නොදැවී 88 (ක්‍රිස් වෝක්ස් 11/2)

 

නව අදහස දක්වන්න