කොරෝනා වෛරසයට ඔරවා රට හරහා තරග නුවරඑළියේ පවත්වයි | දිනමිණ

කොරෝනා වෛරසයට ඔරවා රට හරහා තරග නුවරඑළියේ පවත්වයි

පිරිමි රන් පදක්කම සමන්තට කාන්තා කිරුළ ගයන්තිකාට

ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඊයේ නුවරඑළියේ පැවැති ජාතික රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ජය බස්නාහිර පළාතේ සමන්ත පුෂ්පකුමාර දිනාගත් අතර කාන්තා ශූරතාව දකුණු පළාතේ ගයන්තිකා අබේරත්න දිනා ගත්තාය. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිම්න් පැවැති මේ තරගයට ලියා පදිංචිවී සිටි සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවී සිටීම විශේෂත්වයකි.

කොරෝනා වෛරසයට බියවී මේ ජාතික රට හරහා දිවීමේ තරගය කල් නොදැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබුණු අතර එය සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා පුහුණුකරුවන්ගේ පැසසුමට හේතුවී තිබිණි. ‘දිනමිණ’ ට අදහස් දැක්වූ බොහෝ මලල ක්‍රීඩා පුහුණුකරුවන් පැවැසූවේ මේ ජාතික රට හරහා දිවීමේ තරගය පැවැත්වීමට නොහැකි වූයේ නම් විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් කළකිරීමට පත්වන බවයි.

“මේක මේ වසරේ පළමු තරග අත්දැකීමයි. රට හරහා දිවීමේ තරගය නොතිබුණා නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් අතහැර වැඩක් බලා ගනීවී. බාධක මැද වුවත් තරගය පැවැත්වීම යහපත් දෙයක්“ ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලාල් මහතා පැවැසීය.

කිලෝමීටර් 10ක දුරකින් යුක්තව රටපුරා ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට සහභාගීවීමේ අවස්ථාව ලබාදී තිබූ මේ විවෘත තරගයට ක්‍රීඩකයන් 88ක් හා ක්‍රීඩිකාවන් 32ක් සහභාගීවී සිටියහ.

පසුගිය වසරේ මෙහි පිරිමි රන් පදක්කම දිනාගත් ඌව පළාතේ එරන්ද තෙන්නකෝන් (විනාඩි 34:09.57) මෙවර දෙවැනි තැනට පත්කරමින් බස්නාහිර පළාතේ සමන්ත පුෂ්පකුමාර විනාඩි 34:07.10ක කාලයක් වාර්තා කළේය. ලෝකඩ පදක්කම මධ්‍යම පළාතේ එම්. සිවරාජන් විනාඩි. 34:22.37කින් හිමිකර ගත්තේය.

වසර 2017ට පසුව ජාතික රට හරහා දිවීමේ තරගයේ කාන්තා අංශයේ රන් පදක්කම යළිත් සතුකරගත් දකුණු පළාතේ ගයන්තිකා අබේරත්න ඊයේ දිනයේ වාර්තා කළ කාලය වූයේ විනාඩි 40:16.80කි. පසුගිය වසරේ කාන්තා අංශයේ රන් පදක්කම දිනාගත් නැගෙනහිර පළාතේ නිමේෂා මධුෂානී නන්දසේන මෙවර පස්වැනි ස්ථානයට පත්වීම කැපී පෙණුනි. කාන්තා අංශයේ රිදී පදක්කම කේ. එම්. මලින්දා විනාඩි 40:21.04කින් හා ලෝකඩ පදක්කම නිලන්ති ලංකා විනාඩි 40:21.04කින් දිනා ගත්හ.

මේ කාන්තා පිරිමි අංශ දෙකේම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක හා සමාන මුදල් තෑගි පිරිනැමෙන අතර පළමු ස්ථානවලට රුපියල් 50000 බැගින්, දෙවැනි ස්ථානවලට රුපියල් 40000 බැගින්, තෙවැනි ස්ථානවලට රුපියල් 30000 බැගින්, සිවුවැනි ස්ථානවලට රුපියල් 20000 බැගින් හා පස්වැනි ස්ථානවලට රුපියල් 10000 බැගින් පිරිනැමේ. එයට අමතරව දසවැනි ස්ථාන දක්වා මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

ජාතික රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ජය

1.සමන්ත පුෂ්පකුමාර - බස්නාහිර (වි. 34:07.10) 2. එරන්ද තෙන්නකෝන් - ඌව (වි. 34:09.57) 3. එම්. සිවරාජන් - මධ්‍යම (වි. 34:22.37) 4. ධනුෂ්ක මධුරංග - මධ්‍යම (වි. 34:28.77) 5. මංජුල විජේරත්න - නැගෙනහිර (වි. 34:47.39) 6. ඒ. එල්. ශ්‍රීමන්ත - බස්නාහිර (වි. 34:48.60) 7. ජේ. කේ. බණ්ඩාර - මධ්‍යම (වි. 35:02.84) 8. නිලංක අල්විස් - සබරගමුව (වි. 35:05.46) 9. එම්. ජී. අබේත්න - බස්නාහිර (වි. 35:07.65) 10. ජී. එස්. ආර්. විජේවික්‍රම - සබරගමුව (වි. 35:13.33)

ජාතික රට හරහා දිවීමේ තරගයේ කාන්තා අංශයේ ජය

1.ගයන්තිකා අබේරත්න - දකුණ (වි. 40:16.80) 2. කේ. එම්. මලින්දා - බස්නාහිර (වි. 40:21.04) 3. නිලන්ති ලංකා - සබරගමුව (වි. 40:30.20) 4. වී. ක්‍රිෂාන්තනී - මධ්‍යම (වි. 42: 43.92) 5. නිමේෂා මධුෂානී නන්දසේන - නැගෙනහිර (වි. 43:48.89) 6. එස්. ඩී. ලියනගේ - සබරගමුව (වි. 44:09.70) 7. ඉරේෂා සදරේනූ ප්‍රනාන්දු - බස්නාහිර (වි. 45:25.24) 8. මංජුලා කුමාරසිංහ - බස්නාහිර (වි. 46:02.58) 9. දේවින්දී කුමාරී ප්‍රනාන්දු - බස්නාහිර (වි. 46:33.71) 10. නිලූෂී කුමාරී ප්‍රනාන්දු - බස්නාහිර (වි. 46:56.27)

 

 ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න