ඇඟලුම් කර්මාන්තයට කොරෝනා බලපෑම අවම කිරීමට යෝජනා | දිනමිණ


 

ඇඟලුම් කර්මාන්තයට කොරෝනා බලපෑම අවම කිරීමට යෝජනා

ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ (JAAF) මහ ලේකම් ටියුලි කුරේ මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඇඟලුම් කර්මාන්තය කොරෝනා වසංගතයේ බලපෑමෙන් ආරක්ෂා කිරීම සඳහා යෝජනා කර ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග තුනක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති බහු ආංශික රැස්වීමක දී ඉදිරිපත් කළ බවයි.

කර්මාන්තය අතිකාල (OT) පැය දීර්ඝ කිරීම, සැපයුම් කටයුතු සඳහා බාධා අවම කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට මූල්‍ය ආධාර සැපයීම යන අංශවලට රජයේ සහාය ලබාගැනීම ප්‍රමුඛතම යෝජනාවන් තුනයි.

චීනයෙන් ඇණවුම් කර ඇති සමහර රෙදිපිළි ඉදිරි සති කිහිපය තුළ ලබා ගත හැකි අතර, එමඟින් නිෂ්පාදකයන්ගෙන් වැඩි පිරිසකට මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අනුමාන කරයි. මේ අනුව කර්මාන්තය රජයෙන් ඉල්ලා ඇත්තේ නිත්‍යානුකූලව අවසර දී ඇති අතිකාල පැය 60ක කාලය තවත් පැය හතරකින් දීර්ඝ කරන ලෙසයි. නැති වූ ධාරිතාව නැවත ලබාගැනීම සඳහා මේ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනුයේ ජුනි මාසයේ සිටයි.

නියමිත පරිදි නිමි භාණ්ඩ ලබාදීමේ දී කර්මාන්තයට බලපාන ප්‍රධානතම කාරණයක් වී ඇත්තේ ප්‍රවාහනයයි. මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ එම තත්ත්වය යථා පරිදි පවත්වා ගැනීම සඳහා සතිපතා ප්‍රති ගුවන් ගමන් සැලසුම් කිරීම ඇඟලුම් කර්මාන්තය ස්වාධීන සේවා සපයන්නන් සමඟ සාකච්ඡා කරන බවත් මීට අදාළ විධිවිධාන රජයෙන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ ක්ෂේත්‍ර‍යේ නියැළී සිටින කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා 2020 මහ බැංකුවේ චක්‍රලේඛ අංක 1හි සඳහන් ණය ආධාර යෝජනා ක්‍රමයට යටත්ව ප්‍රමාණවත් ණය පහසුකම් ලබා දෙන ලෙසත් ඇඟලුම් කර්මාන්තය බැංකු හා මූල්‍ය සමාගම්වලින් ඉල්ලා සිටී.

නව අදහස දක්වන්න