විශිෂ්ටම තරුණ ව්‍යවසායකයා වත්තේගොඩ වතු යායේ දුල්ෂන්ක ජයතිලක | දිනමිණ


 

විශිෂ්ටම තරුණ ව්‍යවසායකයා වත්තේගොඩ වතු යායේ දුල්ෂන්ක ජයතිලක

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධාන කළ රාජ්‍ය තරු සම්මාන 2019 උළෙලේ දී විශාල පරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටම තරුණ ව්‍යවසායකයා සම්මානයෙන් වත්තේගොඩ වතුයායේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු දුල්ෂන්ක ජයතිලක මහතා පිදුම් ලැබීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේ දී සම්මාන උළෙල පැවැත්විණි. තරු සම්මාන ඉතිහාසයේ වැවිලි ක්ෂේත්‍රයේ තරුණයකුට මේ සම්මානය හිමි වූයේ පළමු වරටය. වැවිලි ක්ෂේත්‍රයේ වසර 11ක අත්දැකීම් සහිත දුල්ෂන්ක ජයතිලක මහතා වත්තේගොඩ වතු යාය හා තේ කර්මාන්ත ශාලාව විශිෂ්ටත්වයට පත් කිරීමට විශාල කාර්යභාරයක් කළේය. මුලින්ම අමු තේ දලුවල ගුණාත්මකභාවය ඉහළම ප්‍රමිතියකට ගෙන ඒමට සියලු සේවකයන් හිතන සහ වැඩ කරන ආකාරය වෙනස් විය යුතු බව වටහා ගත් ජයතිලක මහතා ඔවුන්ට පුද්ගල සංවර්ධන වැඩසටහන් පැවැත්වීය. එහි ප්‍රගතිය පෙන්වමින් පසුගිය වසර තුනේදී අමු තේ දලු හා තේ කුඩු නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

මහා බ්‍රිතාන්‍යයේ The Ethical Tea Partnership සංවිධාන කළ Energy Efficiency 2019 තරගයේදී රිදී සම්මානය, තේ අපනයනකරුවන්ගේ 2018 සම්මාන උළෙලේ දී දිඹුල කලාපයේ දෙවැනි ස්ථානය ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසක් වත්තේගොඩ වතු යාය දිනා ඇත. කොළඹ තේ වෙන්දේසියේදී සමස්ත වාර්තාගත ඉහළම මිල දෙවරක් සහ සතියේ වැඩිම මිල 2018 දී 24 වරක් හා 2019 දී 21 වරක් වාර්තා කිරීමට වත්තේගොඩ වතු යාය සමත් විය. එසේම වතුයාය සිය ඉතිහාසයේ උපරිම ලාබය පසුගිය අවුරුදු දෙකේදී ඉපැයීය. දුල්ෂන්ක ජයතිලක මහතා වතු අධිකාරි ධුරයට පත්වීමෙන් පසු මේ ජයග්‍රහණ ලැබීම සුවිශේෂත්වයකි. හේලීස් ප්ලාන්ටේෂන් සර්විසස් කළමනාකාරීත්වය යටතේ තලවාකැලේ ටී එස්ටේට් පීඑල්සී පාලනය කරන වත්තේගොඩ වතු යාය හා කර්මාන්ත ශාලාව සමාජ සත්කාර රැසක් ද සිදු කරයි. මේ සියලු ජයග්‍රහණවලට ශක්තියක් වන සමාගමේ ඉහළ කළමනාකාරීත්වය හා සේවකයන් ගෞරවයෙන් සිහිපත් කරන බව දුල්ෂන්ක ජයතිලක මහතා පැවැසීය.

 

නව අදහස දක්වන්න