නම් දෙන්න සියල්ල සූදානම් | දිනමිණ

නම් දෙන්න සියල්ල සූදානම්

ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා පත්‍ර අද (17) සිට සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත භාරදීමට එම පෙරමුණ සූදානමින් සිටියි.

නාමයෝජනා බාර දීම මේ වනවිට සියයට 95ක් පමණ අවසන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඉතාම සංවිධානාත්මක ආකාරයට නාමයෝජනා ලබාදීමේ වැඩකටයුතු සිදුකළ බවත් හිටපු බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කීවේය.   ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

පාර්ලමේන්තුව නියෝජනය කළ , පළාත් සභාව හා පළාත් පාලන ආයතන නියෝජනය කළ අය සහ දිස්ත්‍රික්වල සුදුසුකම් ලැබූ නීතීවේදීන්, ද්‍යෛවරු , ගුරුවරු, ඉංජිනේරුවන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් , රණවිරුවන්ට නාමයෝජනා ලබාදීම සිදුකළ බවත් ප්‍රකාශ කළේය.

නොයේකුත් පක්ෂ සහ පුරවැසි සංවිධාන නියෝජනය කළ පිරිස්වලට ද සුදුසුකම් අනුව නාමයෝජනා ලබාදීම සිදුකළ බවත් අනාවරණය කළේය.

නාමයෝජනා ලබාදීම සම්බන්ධව තර්ජනය කිරීම්, විවිධ බලපෑම් හෝ කිසිවක් නාමයෝජනා ලබාදීමේ දී සිදුනොවූ බවත්, සියලු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරමින් ඉතාම සාමකාමීව එම කටයුතු සිදුකළ බවත් ඒ මහතා කීය.

19 වැනිදාට ප්‍රථම නාමයෝජනා බාර දීම සිදුකළ යුතු වූවද එජාපය සහ සමඟි බලවේගය තවම නාමයෝජනා අස්සන් කිරීම අවසන්කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවද ප්‍රකාශ කළ රෝහිත අබේගුණවර්ධන මහතා පවතින කොරෝනා වෛරස් තත්ත්වය දඩමීමා කරගනිමින් සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ දේශපාලන බංකොලොත්බාවය වසා ගන්න කටයුතු කරන බව පැහැදිලි කළේ ය.

සමඟි ජනබලවේගයට මැතිවරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයට ඩීල් දානවා යැයි සමහරු ප්‍රකාශ කළ ද සමඟි ජනබලවේගය ඉදිර්පත් වූවා කියා තම පක්ෂයට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඩීල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා කීවේ ය. එජාපයේ බෙදීම නිසා ජනතාව අතර යම් ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී තිබෙන බවත් ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ ඉතාම සංවිධානාත්මකව ජනතාව අතරට යමින් කටයුතු කර තිබෙන බවත් රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

 චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න