ලොව වටා කොවිඩ් 19 මරණ 6,518ක් | දිනමිණ

ලොව වටා කොවිඩ් 19 මරණ 6,518ක්

ආසාදිත 169,864කින් 77,776ක් පූර්ණ සුවයට

ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාව 6,518 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම වෛරසය ආසාධපනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 169,864 දෙනෙකු මේ වනවිට වාර්තා වී තිබෙන අතර වෛරසය ආසාධනය වූවන්ගෙන් පුද්ගලයින් 77,776 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබෙන බව වාර්තා වෙයි.

චීනයේ වුහාන් ප්‍රාන්තයේ හුබෙයි පළාතෙන් ආරම්භ වූ මෙම වෛරසය මේ වනවිට ලෝකයේ රටවල් 157ක පමණ පැතිර ගොස් තිබෙන අතර එක් දිනක දී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වී තිබේ. යුරෝපයේ රටවල් තුනක එක්දිනක් තුළ වාර්තාගත ලෙස කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන අතර ඒ අනුව චීනයට පසුව වැඩිම බලපෑමක් සිදුව ඇති ඉතාලියේ දිනක් තුළ මරණ 368 ක් වාර්තා වී තිබේ. ඉතාලියේ සිදුව තිබෙන සමස්ථ මරණ සංඛ්‍යාව 1,809 දක්වා ඉහළ ගොස් ඇති අතර ස්පාඤ්ඤයේ ද පැය 24ක කාලයේ නව මරණ 97ක් වාර්තා වීමත් සමඟ මුළු මරණ සංඛ්‍යාව 292 දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රංශයේ ද දිනක් තුළ නව මරණ 26ක් වාර්තාවීමත් සමඟ මුළු මරණ සංඛ්‍යාව 127 දක්වා ඉහළ ගොස් තිබෙන අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ලක්සම්බර්ග් සහ ඔස්ට්‍රියාව සමඟ පවතින තම දේශසීමා ඊයේ (16) සිට වසා දැමීමට ජර්මනිය පියවර ගෙන තිබේ. රුමේනියාව ද එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර චෙක් ජනරජය ද සිය දේශසීමා වසා දමා රටපුරා නිරෝධායන ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වේච්ඡා දායකත්වයෙන් හදිසි අරමුදලක් ඇති කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එම අරමුදල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආරම්භක මුදලක් ලබාදීමට සූදානම් යැයි ඉන්දීය අගමැතිවරයා දකුණු ආසියානු රටවල නායකයන් සමඟ පැවැත්වූ ඒකාබද්ධ වීඩියෝ සංවාදයේ දී ප්‍රකාශ කර ඇත. වයස අවුරුදු 70ට වැඩි සෑම බ්‍රිතාන්‍ය ජාතික පුරවැසියෙකුටම ඉදිරි සති කිහිපය තුළ නිවෙස්වලින් බැහැරට නොයා නිවසේ රැදී සිටින ලෙස එරට සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක් දැනුම් දීමක්කර තිබේ.

කෙසේ වෙතත්, මෙය බලකිරීමක් නොවන අතර, යුද සමයේ මෙන් මෝටර් රථ නිෂ්පාදකයන්ට වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන ලෙසත් හෝටල්, රෝහල් බවට පත් කරන ලෙසත් ඔහු ඉල්ලීමක් ද කර ඇත. මේ අතර සෞදි අරාබිය සිය රටතුළ අත්‍යාවශ්‍ය ආහාර අලෙවිසැල් සහ ඖෂධ අලෙවිසැල් හැර සියලුම වෙළඳසැල් වසාදමා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. බෙදාහැරීමේ සේවාවන්ට පමණක් ඉඩ දෙමින් අවන්හල් සහ ආපනශාලාවල ආහාර සැපයීම ද තහනම් කර තිබේ.

දකුණු අප්‍රිකාව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර පුද්ගලයන් 100 කට වැඩි මහජන රැස්වීම් තහනම් කර ඇත. පාසල් මෙන්ම පොදු ස්ථාන ද වසාදමා ඇති අතර ඇතැම් රටවලට සංචාරක තහනම් පැනවීමට ද දකුණු අප්‍රිකානු රජය පියවර ගෙන ඇත.

මේ අතර විදේශයන්ගේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් 1,715 දෙනෙකු මඩකලපුව, කන්දකාඩු හා දියතලාව ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන 10ක් වෙත මේ වනවිට යොමුකර තිබෙන අතර නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව වීම සහ ඒ පිළිබඳ පැතිරයන දුර්මත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ අතර විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායනය නොවී සිටින පුද්ගලයින් පරික්ෂා කිරීම කහටගස්දිගිලිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින් හා පොලිසිය එක්ව සිදුකර ඇති අතර 1897 අංක 03 දරණ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුව නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට නීති ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කෙරෙන නිශ්කාෂණ වාර්තා ඔන්ලයින් ක්‍රමයට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන අතර වෛරසය පැතිරයාම අවමකර ගැනීම සඳහා මේ පියවර ගෙන තිබේ.

නව අදහස දක්වන්න