කොරෝනා මඬින්න ලෝකයේ කිසිදු රටක් නොගත් ක්‍රියාමාර්ග අපේ අාණ්ඩුව ගත්තා | දිනමිණ

කොරෝනා මඬින්න ලෝකයේ කිසිදු රටක් නොගත් ක්‍රියාමාර්ග අපේ අාණ්ඩුව ගත්තා

කොරෝනා මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකා හමුවේදී ජනපති කියයි

කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා ලෝකයේ කිසිදු රටක් මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති ක්‍රියාමාර්ග රැසක් පසුගිය කාලය තුළ ආණ්ඩුව ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කෙළේ කොරෝනා මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකාය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (17) උදෑසන රැස් වූ අවස්ථාවේ දීය. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

රෝග මර්දනයට අනෙක් රටවල් ආදර්ශයට ගන්න යෝජනා කරන කිසිවෙක් ආණ්ඩුව මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග අගය නොකරන තත්ත්වයක් දක්නට ලැබෙනවා.කොරෝනා කාර්ය සාධක බළකායක් පිහිට වූ මුල්ම රට ශ්‍රී ලංකාවයි. කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය පටන් ගත්තේ ජනවාරි මාසේ 26 වැනිදා. ලෝකයේ කිසිම රටක් කරන්න පෙරයි අපි එම කාර්ය සාධක බළකාය ආරම්භ කෙළේ. වුහාන්වල හිටිය අපේ දරුවන් 34 දෙනා බේරා ගන්න තමයි අපි මේ බළකාය මුලින් ආරම්භ කෙළේ. කාර්ය සාධක බළකාය හදලා අපි ඒ ළමයි බේරා ගත්තා පමණක් නොවෙයි, කිසිම සිද්ධියක් නොවෙන්න එම කාර්යය කළමනාකරණය කරගන්න අපට හැකියාව ලැබුණා.

අපේ රටෙන් කොරෝනා රෝගය වැළඳුණු කෙනෙක් මුලින්ම වාර්තා වුණේ ජනවාරි මාසේ 27 වැනිදා. සංචාරයට ආ චීන ජාතික කාන්තාවක් තමයි මුලින්ම වාර්තා වුණේ. පෙබරවාරි මාසේ 1 වැනි දා වන විට අපට වුහාන්වල හිරවෙලා හිටපු ළමයි 34 දෙනාම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් යවලා මෙරටට ගෙන්වා ගන්න පුළුවන් වුණා. ඒ ළමයි එන්න පෙර දින හයකින් දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් හදන්න අපේ හමුදාව සමත් වුණා. එක ළමයකුට එක කාමරයක් බැගින් ඒ මධ්‍යස්ථානය ඉදි කළා.

ඒ ගෙනාපු ළමයි මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන්නලා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනිහිල්ලා නිරෝධායන කාර්යය සාර්ථකව කරගන්න අපට හැකියාව ලැබුණා. ඒ කාලය තුළ අපට විවිධ ඉල්ලීම් ආවා. චීනයේ අනෙකුත් ප්‍රදේශවල සිටින ළමයිනුත් බේරා ගන්න කියලා. ඒ වගේ ළමයි 750ක් පමණ චීනය පුරා හිටියා. අපි උපදෙස් දුන්නා ඒ අයට ස්වයං නිරෝධානයකට ලක්වෙන්න කියලා. කිසිම සිද්ධියක් වාර්තා නොවන ආකාරයට අපි ඒ කටයුත්ත කළා.

පෙබරවාරි මාසේ 19 වැනි දා කොරෝනා වැළඳිලා හිටපු චීන ජාතික කාන්තාව සුවය ලබලා ඇයගේ රටට පිටත්ව ගියා. මේ වන තෙක් අපට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපට මුලින්ම ප්‍රශ්නයක් ඇති වුණේ මාර්තු මාසේ 11 වැනි දා . ඒ ඉතාලියේ සංචාරක කණ්ඩායමකට මඟ පෙන්නූ සංචාරක මාර්ගෝපදේශකයකු හට කොරෝනා රෝගය වැළඳීමත් සමඟයි. අද වන විට එම සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මාර්තු 11 වැනි දා එක් රෝගියෙක් ද, 12 වැනි දා රෝගීන් දෙදෙනෙක් ද, 13 වැනි දා රෝගීන් දෙදෙනෙක් ද, 14 වැනි දා රෝගීන් පස් දෙනෙක් ද, 16 වැනි දා රෝගීන් දස දෙනෙක්ද වශයෙන් වාර්තා වෙලා තිබෙනවා.

මේ අය අතරින් 15 දෙනෙක් ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කර හිටපු අයයි.චීනයෙන් පසුව ඉතාලියේ මේ රෝගය විශාල වශයෙන් පැතිර යන බව අපට දැන ගන්න ලැබුණා. අපි තීරණය කළා ඉතාලියේ සිට එන සියලු ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට ලක් කරන්න. පළමු නිරෝධායන මධ්‍යස්ථානය කන්දකාඩු සහ පුනානිවල ආරම්භ කළා. මාර්තු මාසේ 10 වැනි දා වන විට ඉතාලියේ මෙන්ම දකුණු කොරියාවේ සිට එන අයත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්න අපි තීරණය කළා. පසුව ඉරානයත් ඒ ලයිස්තුවට ඇතුළත් කළා.

අපි මේ නිරෝධායන කටයුතු කෙළේ බොහෝ අභියෝග මැද. ඒ අතරතුරේ එක් අයෙක් තමන් නිරෝධායනයට ගෙන ගිය බස් රථයේ රියැදුරුගේ බෙල්ල මිරිකලා පැනලා ගිහින් තිබුණා. අපි කෙසේ හෝ ඒ කටයුත්ත නොකළා නම් මේ වන විට ඇති විය හැකි තත්ත්වය හිතාගන්න පුළුවන්. ඒ අවස්ථාවේ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන ගියා නිරෝධායනය ගැන. මේ වන විට නිරෝධායන කඳවුරු 16ක 1882ක් නිරෝධායනයට ලක්වෙලා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය අපට දැනුම් දුන් තොරතුරු අනුව යුරෝපයේ රටවල මේ වන විට කොරෝනා රෝගය වැඩිවෙමින් පවතින බව දැන ගත්තා. අනතුරුව ඒ රටවල සිට එන අයත් අපි නිරෝධායන ලයිස්තුවට ඇතුළත් කළා. ප්‍රංශය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය වගේ යුරෝපා රටවල් 7ක් ඒකට ඇතුළත් වුණා. පසුව එංගලන්තය, ප්‍රංශය සහ බෙල්ජියමත් ඊට ඇතුළත් කළා. මෙම රෝගය පාලනය සඳහා අපි ප්‍රධාන වශයෙන් තීරණ කිහිපයක්ම ගත්තා.

මුලින්ම පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර ගත්තා. දෙවනුව ජනතාවගේ ඒකරාශී වීම වැළක්වීම සඳහා ඊයේ රජයේ නිවාඩු දිනයක් බවට පත් කළා. තෙවනුව ජනමාධ්‍ය හරහා කොරෝනා වළක්වා ගැනීම සම්බන්ධ උපදෙස් මාලාවක් නිකුත් කළා. මාර්තු මස 9 වැනි දා සහ 10 වැනි දා දිනවල ඉතාලියේ සිට ආ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමට තීන්දු කළා.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ යොදවලා මාර්තු මස 1 වැනි දා සිට ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මෙරටට ආ පුද්ගයන් ගැන හොයන්න සෝදිසි මෙහෙයුම් පටන් ගත්තා. අපට අවශ්‍ය වුණා ඒ අය නිවෙස්වලම තියලා නිරෝධායනයට ලක් කරන්න. දහසක පමණ පිරිසක් ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව සහ අනෙකුත් යුරෝපා රටවල සිට මෙරටට පැමිණ තිබෙනවා. ඒ අය ඉන්න නිවෙස්වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යවලා, දැනුවත් කිරීම් කරලා, නිරෝධායනයට ලක් කෙරෙනවා කියලා දැන්වීමක් ඒ නිවෙස්වල පළ කරලා තිබෙනවා.

කොරෝනා පාලනයට වෙනත් කිසිදු රටක නොකළ විශාල වැඩකොටසක් ,අපි මේ කාලය තුළ අපේ රටේ ක්‍රියාවට නංවලා තිබෙනවා. අපි මේ සියල්ල කෙළේ කිසිදු බාධාවකින් තොරව ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහායි. මේ දිනවල පොළොන්නරුව ප්‍රදේශයේ නව නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා කටයුතු කරමින් යනවා. මම ඊයේත් කතා කරලා ඒ සම්බන්ධයෙන් හොයලා බැලුවා. එහෙම වුණොත් ඒ ප්‍රදේශවල සිටින රෝගීන් කොළඹ ගේන්නේ නැතුව නිරෝධායනයට ලක් කරන්න පුළුවන්.

මේ සියල්ල අතරේ රටේ තවත් ප්‍රශ්න මතු වෙනවා. කෑගල්ල ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් කතා කරලා මට කිව්වා ,ඒ පැත්තේ වතුර ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම ලේකම්තුමාට කතා කරලා ඒ ගැන කිව්වා. අන්තිමට රාජ්‍ය සේවකයෝ නිවාඩු හින්දා බවුසර් හොයන්න වුණෙත් ලේකම්තුමාටමයි. ඒ අතර අම්පාර ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් කතා කරලා මට කිව්වා මඩ පොහොර හිඟයක් තියෙනවා කියලා. රාජ්‍ය සේවකයන්ට නිවාඩු දෙන කොට මේවා ගැනත් කල්පනා කරන්න ඕනේ. මඩකලපුව ප්‍රදේශයේ මේ දවස්වල ගොයම් කැපෙනවා. වී අලෙවි මණ්ඩලය මේකට මැදිහත් නොවුණොත් ගොවීන්ට මුදල් නැතිව වෙනවා.

නිවාඩු දෙන්න ලේසියි. මිනිසුන් ජීවත් කිරීම තමයි අමාරු. අපි මේ වේලාවේ බුද්ධිමත් වෙලා තීන්දු ගන්න ඕනේ. සමස්ථය දෙස බලලයි තීන්දු ගත යුත්තේ. එසේ නැති වුණොත් වෙන්නේ ජනතාව කලබල වෙන එක විතරයි. කොරෝනා වගේ නොවෙයි, වතුර නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ.

වසර පහළොවක් ආපස්සට ගියොත් අපට මතකයි මහින්ද මහත්තයා ජනාධිපති ධුරයේ ඉන්න කොට, මම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඉඳගෙන යුද්ධයට මුහුණ දීපු හැටි. එක වතාවක කියනවා කැබිතිගොල්ලෑවේ බෝම්බයක් පුපුරලා කියලා. ඒ එක්කම මමයි මහින්ද මහත්තයයි කැබිතිගොල්ලෑවේ යනවා. එතැන මිනිස්සු අඬනවා. ආයෙමත් කියනවා මාවිල්ආරු වහලා කියලා. අයේ කියනවා මුතූර්වලට ගහනවා කියලා. මේ වගේ විවිධ බාධක මැද තමයි අපි මානුෂීය මෙහෙයුම කෙළේ. මානුෂීය මෙහෙයුම කියන්නේ රෝස මල් ඇතිරූ මාවතක ගිය ගමනක් නොවෙයි.

සමහර දවස්වලට මාසෙටම ඉස්සරහට ගිහින් තියෙන්නේ අඟලයි. නමුත් අපි රට ලොක්ඩවුන් කෙළේ නැහැ. ඒ මෙහෙයුම්වලදී දී 5000කට වැඩි පිරිසකගේ ජීවිත නැති වුණා. 10,000ක් පමණ ආබාධිත වුණා. අපි ලොක්ඩවුන් කෙළේ නැහැ. මට තේරෙන්නේ නැහැ 28 දෙනෙකු රෝගී වුණාම රටම ලොක්ඩවුන් කරන්න ඕනේ ඇයි කියලා. මේවාට කලබල වුණොත් කිසිවක් හරියට කර ගන්න වෙන්නේ නැහැ.

සමහරු මට කියනවා සිංගප්පූරුව, චීනය අනුගමනය කරපු ක්‍රමවේදය ගැන . හැබැයි ඒ කවුරුත් අපි කරපු දේ කියන්නේ නැහැ. අපි තමයි කොරෝනාවලට එරෙහිව හොඳම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙළේ. ඉතාලිය මොනවා කළත් වැඩක් නැහැ. දහස් ගණන් මැරෙනවා නම්, අපි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න ඕනේ. අපේ ආදර්ශය අනෙක් රටවලටත් දෙන්න ඕනේ.

අපට දක්ෂ හමුදාවක් ඉන්නවා. ඕනේ වැඩක් ඒ අයට කියලා කරගන්න පුළුවන්. මගේ අදහස නම් අපි තවමත් මුළු රටම වහලා දාන තත්ත්වයට ඇවිත් නැහැ. අපි බලන්න ඕනේ පිටරටින් එන අය පාලනය කර ගන්නයි. ඒ අනුව සියලුම දෙනා රටට ඇතුළු වීම තහනම් කරනවා. මාර්තු මාසේ 10 වැනි දා දක්වා ඉතාලියේ, දකුණු කොරියාවේ සිට පැමිණි අය නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම පෙරේදා වන තුරු අනෙක් රටවලින් ආ අයත් ඔවුන්ගේ නිවාසවලම නිරෝධායනයට ලක් කරනවා. ඒක ඉතාම සාර්ථකව කරන්න පුළුවන්.

ඉතාලියේ, දකුණු කොරියාවේ සිට ආපු අය රට වටේ ඇවිද ඇවිද යන්න ගත්තොත් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. මුලින්ම මේ අය පාලනය කරන්න ඕනේ. පොලීසිය, බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාව මේ අයගේ නිවාසවලට ගොස් නිරීක්ෂණයට ලක් කරන්න ඕනේ. ඊයේ සවස තිබුණු තත්ත්වය එක්ක රාත්‍රී 11.50ට තමයි මම දින තුනේ නිවාඩුව දෙන්න තීන්දු කෙළේ. මම ම දුරකථන ඇමැතුම් දීලා තමයි මාධ්‍ය ආයතනවලට මේ නිවාඩුව ගැන දැනුම් දුන්නේ.

මේ නිවාඩු දින තුන තුළ ඉක්මණින් පියවර ගන්න ඕනේ. ඊළඟට අපට පුළුවන් නිවාඩුව දිගු කරනවද නැද්ද කියලා තීන්දු කරන්න. දැන් නිවාඩු තුනෙන් පස්සේ එන්නේ සිකුරාදා. ඊට පස්සේ සති අන්තය. සිකුරාදට ඕනේ නම් නිවාඩු දෙන්නත් පුළුවන්. ඊට පස්සේ දින ගණනාවක් තියෙනවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. රාජ්‍ය සේවාව ක්‍රියාත්මක නොවුනොත් අපට මේ කටයුත්ත කරන්න බැරි වෙනවා. මේ කාලය තුළ ජනතාව දැනුවත් කරන්න ඕනේ නිවාසවලට වෙලා ඉන්න කියලා.

අපි නිවාඩු දෙන්න තීන්දු කළාම මම දැක්කා සමහරු කියනවා නාමයෝජනා දෙන්න ඕනේ නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට නිවාඩු දීලා නැහැ කියලා. නාමයෝජනා දෙන්න ඕනේ තමයි. මම නොවැම්බර් මාසයේ ජනාධිපති වූණා.ඒ වන විට එවකට හිටපු ආණ්ඩුව අය -වැයක් සම්මත කරන්නේ නැතුව අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කර ගෙන තිබුණා. අපටත් තිබුණේ සුළුතර ආණ්ඩුවක්.

පහුගිය ආණ්ඩුව පොහොරවලට මුදල් ගෙවලා තිබුණේ නැති නිසා පොහොර ගෙන්වන්න විදියක් තිබුණේ නැහැ. ඖෂධවලට මුදල් ගෙවලා තිබුණේ නැති නිසා ඖෂධ ගෙන්වන්න බැරි වෙලා තිබුණා. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවලා තිබුණෙත් නැහැ. මේ ප්‍රශ්න නිසා අපි හිතුවා අමතර වැය ශීර්ෂයක් ඉදිරිපත් කරලා මුදල් ලබා ගන්න. නමුත් විපක්ෂය එය ඉඩ දුන්නේ නැහැ. අපි ඒක දැනගෙන වැය ශීර්ෂය ඉවත් කර ගත්තා.

මට ජනතාව භාර දුන් වගකීම ඉදිරියට ගෙන යෑම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. කොරෝනා ආවම ඒවට අවශ්‍ය වියදම් හොයාගන්නේ කොහොමද කියන එකත් අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මම පාර්ලිමේන්තුව විසිරෙව්වා. පාර්ලිමේන්තු විසුරුවන විට නාමයෝජනා කැඳවන දිනය, මැතිවරණය පැවැත්වෙන දිනය දැනුම් දෙන්න ඕනේ. පාර්ලිමේන්තුව විසුරුවා හරින විට මට බලය ලැබෙනවා වැය ශීර්ෂයක් මඟින් මුදල් ලබා ගන්න.

නැවත වරක් මැතිවරණය කල්දැම්මොත් මට මේක නැවතත් පාර්ලිමේන්තුව හමුවට ගේන්න වෙනවා. ඒකට නැවත වතාවක් විරුද්ධ පක්ෂයේ සහයෝගයක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා නාමයෝජනා දීම සිදුවිය යුතුයි. ඡන්ද දිනය කල් දැමීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඒ ගැන තීන්දුවක් ගන්න පුළුවන්. මම මේක සම්පූර්ණයෙන් අතහැර දැම්මොත් නැවත වරක් මුදල් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.

සමහරු වැරැදි විදියට අර්ථකථනය කරනවා පවුලක් බලයේ ඉන්න ඕනේ නිසා මේවා කරනවා කියලා. ඒ ගැන කණගාටු වෙනවා. දේශපාලන වාසි කතා මේ වගේ දේවල් කියන්න හොඳ නැහැ. කොරෝනා පාලනය කරන්නෙත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නයි. ජනතාවට ජීවත් වෙන්න අපි යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ.

අගමැති මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකා විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේෂක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

 ධනුෂ්ක ගොඩකුඹුර

නව අදහස දක්වන්න