ගුවන් මගීන් පැමිණීම සති 2කට නවත්වයි | දිනමිණ

ගුවන් මගීන් පැමිණීම සති 2කට නවත්වයි

කොරෝනා මර්ධන කාර්යසාධනයේ දී ජනපති කියයි

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව

පළමු මර්දන බළකාය අපේ

මාර්තුවල පැමිණි සියල්ලන් නිරෝධායනයට

කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළක්වීම පිණිස ශ්‍රී ලංකාවට ගුවන් මගීන් පැමිණීම සති දෙකකට නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. තීරණය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරින් ආර්ථික සහ වෙළෙඳ කටයුතු මෙන්ම සෙසු අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් ජනාධිපතිවරයා දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන් හට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) රැස් වූ අවස්ථාවේදීය. කොරෝනා උවදුර ජය ගැනීමට රජය ගත් පියවර එකින් එක පැහැදිලි කළ ජනාධිපතිවරයා කාර්ය සාධක බළකාය ස්ථාපනය කළේ ජනවාරි 26 වැනිදා බවත් එය කොරෝනා මර්දනය එවැනි බළකායක් ආරම්භ කළ ලොව ප්‍රථම අවස්ථාව බවත් හෙළි කළේය.

මාර්තු මස 01 වැනි දිනෙන් පසු ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය සහ අනෙකුත් යුරෝපා රටවලින් මෙරටට පැමිණි සියලුදෙනා නිරෝධානයට පියවර ගන්නා බව පැවැසූ රාජපක්ෂ මහතා ඔවුන් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ තොරතුරු රැස් කරන බවත් පැවැසීය.

එම පිරිස් ඔවුන් පදිංචි නිවාසවලම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව පැවැසූ රාජපක්ෂ මහතා එය ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවත් පෙන්වා දුන්නේය. විදේශගතව සිට සිය රට පැමිණ නිරෝධායනයට පාත්‍ර නොවී සැඟවී සිටින පුද්ගලයන් ගැන තොරතුරු සොයන ලෙසත් ඔවුන් පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙසත් ජනාධිපති රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දුන්නේය.

කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි සැකසහිත පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීම සඳහා මධ්‍යස්ථාන 18ක් මේ වන විට ස්ථාපිත කොට ඇති අතර, නුදුරු දිනකදීම පොළොන්නරුව ප්‍රදේශයේ තවත් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කොරෝනා ඇත්දැයි සැක සහිත පුද්ගලයන් වෙනුවෙන් රජයේ රෝහල්වල වෙනම සායනයක් ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ නොවුණහොත් එවැනි පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්තවීමට ඇති ඉඩකඩ වැඩි බවත් පැවැසීය. එසේම කර්මාන්තශාලා වැසීමට රජය කිසිදු අවස්ථාවක උපදෙස් දී නොමැති බවත් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා කළ විමසීමකට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේය.

ප්‍රශ්නය ජය ගැනීමට අවශ්‍ය සියලු දේ කළ යුතු වුවත් රට අකර්මණ්‍යවීමට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපතිවරයා පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට දින නියම කිරීමට සිදුවූයේ පසුගිය රජය අයවැයක් සම්මත කර නොතිබීම නිසා මතු වූ මුදල් ගැටලුවට නිසා බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නාමයෝජනා කැඳවීමේ ක්‍රියාවලිය එලෙසම ක්‍රියාත්මක විය යුතු බව පැවැසූ රාජපක්ෂ මහතා මැතිවරණ දිනය වෙනස් කිරීමේ බලය අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සතු බව පැවැසීය. අගමැති මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 ධනුෂ්ක ගොඩකුඹුර

නව අදහස දක්වන්න