මෙරට නිරෝධායන කටයුතු ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසා | දිනමිණ

මෙරට නිරෝධායන කටයුතු ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසා

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

පසුගිය 01 දා සිට 10 දක්වා ඉතාලිය ඇතුළු රටවල් කීපයකින් පැමිණි අය අතුරින් වැඩි පිරිසක් පුත්තලම් දිස්ත්‍රික්යේ හඳුනාගත් ප්‍රදේශවල තවමත් නිදැල්ලේ සිටින බැවින් අද (18දා) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍ර දේශවල සියලු කටයුතු වසා දමා කොරෝනා වෛරසය වැළදී ඇති පිරිස් හඳුනා ගැනීම සඳහා දින කිපයක් තිස්සේ නිරෝධායන කටයුතු සිදු කිරීමට පියවර ගැනීමට ඉඩ ඇතිබව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසූවාය.

මේ වන විට නිරෝධායන පරීක්ෂාකිරීම් වලට ලක් නොවූ විදේශ රටවල සිට මෙරටට පැමිණි 1800ක පමණ පිරිසක් සිටින බවද හඳුනාගෙන ඇතිබව කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යෂ්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාව අවස්ථාවේ මෙම තොරතුරු හෙළිදරව් විය.

එහිදී අනාවරණය වූ පරිදී මේ වන විට කොරෝනා රෝගය වැළදුණ පුද්ගලයින් 34 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් ගේ තත්ත්වය බරපතල නොවේ. පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය මෙහිදී තව දුරටත් පවසා සිටියේ දින 14ක් වැනි කාලයක් තුළ මේ රටේ සියලු කටයුතු වසා දමා කොරෝනා වෛරසය පරීක්ෂාවක් කිරිමට හැකි තරම් සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බවත් එදිනෙදා රැකියා කරන ජීවත්වන පිරිස් විශාල වශයෙන් සිටින බවත් ඒ අතර තවත් බොහෝ ගැටලු සහගත් තතත්ත්වයන් නිසා සමස්ථ රටම වසා දමා මෙම පරීක්ෂා කිරීමට සිදුකිරීම කළ නොහැකි බවත්ය.

පසුගිය 10 වනදාට පෙර විශේෂයෙන් ඉතාලියේ සිට මෙරට පැමිණි 1800ක පමණ පිරිසක් පරීක්ෂාවට ලක් වී නොමැත. ඒ අතරින් 800ක පමණ පිරිසක් හඳුනාගෙන තිබේ. මේ පිරිස් කිසිම ආකාරයකින් නිරෝධායන කටයුතු වලට ලක් වි නොමැත. ඔවුන් අතරින් කොපමණ පිරිසකට කොරෝනා වෛරසය වැලදි තිබේද යන්න මෙතෙක් හෙළි දරව් වි නොමැත. එමනිසා පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍ර දේශ ගණනාවක් වසා දමා මේ ආකාරයෙන් පරීක්ෂාවකට ලක් කිරීම පිළිබඳව ඊයේ ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කළ බවද ඇමැතිවරිය පැවසුවාය.

මේ අතර අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු මෙරටට ගුවන් මගින් පැමිණෙන පිරිස සම්පූර්ණයෙන් නවත්වා දැමීමට තීරණය කළ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය. ඒ අතර මෙරටින් පිටව යන පිරිසට එසේ පිටව යාමට කිසිදු බාධාවක් නොවන බවද ශවේන්ද්‍ර සිල්වා පැවැසීය. මේ අතර ඉන්දියාව සහ තවත් රටවල් කීපයකට වන්දනාවේ ගිය 800ක පමණ පිරිසක් විදේශ ගතව සිටින බැවින් ඔවුන් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බව ශවේන්ද්‍ර සිල්වා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් පැසසුමට ලක්කර තිබෙනවා. අප ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක බව එයින් පෙනෙනවා.

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාව රටවලින් මෙරටට පැමිණි පිරිස් රඳවා නීරෝධායනය කිරීමේ මධ්‍යෂ්ථාන 16ක් හමුදාව යටතේ පවත්වාගෙන යයි. මෙම මධ්‍යෂ්ථාන තුළ 2258 දෙනෙකු නිරෝධායනය කෙරේ. ඊට අමතරව අසාදනය වූ පිරිසක්ද රෝහල් කීපයක රඳවා ඇත.

පසුගිය 01 දා සිට 09 වන දා දක්වා ඉතාලියේ සිට මෙරටට පැමිණි පිරිසගෙන් රජය කාරිණිකට ඉල්ලා සිටින්නේ වහාම ඉදිරිපත් වී ඔවුන්ගේ තත්ත්වය සෞඛ්‍ය පරීක්ෂණ වලට ලක්කොට නිරෝධායන කටයුතු වලට සහයෝගය දෙන ලෙසයි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යෂ්ථානයේදී ඊයේ(17) පස්වරුවේ ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් අජිත් රෝහණ මහත්වරුන් ඇතුලු පිරිසකයේ සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී මෙම සියලු තොරතුරු අනාවරණය කෙරිණි.

 

 විජයානි එදිරිසිංහ සහ උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න