කො‍‍‍‍රෝනා මැඬීමට සියලු දෙනා එකතු වෙමු | දිනමිණ

කො‍‍‍‍රෝනා මැඬීමට සියලු දෙනා එකතු වෙමු

හිටපු මන්ත්‍රී අර්ජුන රණතුංග

මේවනවිට කොරෝනා වෛරසය ලොව පුරා පැතිරෙමින් පවතිනවා. එහි බලපෑම දැන් ලංකාවටත් එල්ල වෙමින් තිබෙනවා. වෛරසය සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි යැයි ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ එජාප කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද කීය. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, රාමසාන් අවුරුද්ද, වෙසක් සහ පොසොන් යනාදී උත්සව රාශියක් පවතිනවා. ඒ වගේම මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අවස්ථාවලදී ජනතාවට විශාල වශයෙන් ගැවසීමෙන් රෝගය තවත් ව්‍යාප්ත විය හැකියි. ඒ නිසා රජය වහාම මේ පිළිබඳ මැදිහත්වී රෝග ව්‍යාප්තිය පාලනයට පියවර ගත යුතු යැයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

දැනටමත් කො‍රෝනා වෛරසය ආසාධිතයන් 28 දෙනෙකු මෙරට පළාත් කීපයකින් වාර්තා වෙලා ඉන්නවා. මෙවැනි පුද්ගලයන් තවත් කීදෙනෙක් සිටිනවාද කියා අප දන්නේ නැහැ. මෙවන් තත්ත්වයක් හඳුනාගැනීමට රජය කටයුතු කළයුතු බවද හෙතෙම සඳහන් කළේය.

රටේ බහුතරයක් ජනතාව මේ දවස්වල කතා කරන්නේ දේශපාලනයයි. හැබැයි අපි ලෝකය දිහා බැලුවහාම ලෝකය හරියට පරිස්සම් වෙලා. සමහර රටවල් මේවනවිටම අවදානම් කලාප ප්‍රකාශයට පත්කරලා. ගුවන් ගමන් නතර කරලා. දැඩි තීරණගෙන ඒ රටවල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නවා යැයි අර්ජුන රණතුංග මහතා පැවසීය.

රටක් විදියට අපි තවම මේ වැඩි අවදානමක් යොමුකර නැහැ. චීන ජාතිකයන් විශාල පිරිසක් එයාලාගේ රටට ගිහිල්ලා ඒ සියලුම දෙනා යළිත් ශ්‍රී ලංකාවට ඇවිත් සිටිනවා. මේ අය අතරින් කීදෙනෙකු නිරෝධායනය කළේද කියලා අප දන්නේ නැති බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ අවදානම් තත්තවය යටතේ රජය පාසල් වැසීමට පියවර ගැනීම හොඳ තීරණයක් කියා මා හිතනවා. අපේ දරුවන් හා රටේ පුරවැසියන් ආරක්ෂා කරගත යුතුයි. කොරෝනා ගැන තිබෙන අවධානය සහ අවදානම පිළිබඳ හුඟක් දුරට බලා නැහැ කියා මා හිතනවා. කොරෝනා වෛරසයත් එක්ක දේශපාලනය කරන්නේ නැතුව කොරෝනාවලින් රට යන පුරවැසියන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ කරගෙන යන්න ජනාධිපතිතුමන් ඇතුළු දේශපාලන නායකයින්ට වගකීම තිබෙන බවද ගම්පහ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

රටේ කීදෙනකු දිස්ත්‍රික් හා පළාත් වශයෙන් උදේටයි සවසටයි දුම්රියේ යනවද?. කීදෙනකු බස් එකේ යනවද? මේ පිරිස කොච්චර තැන්වල ගැවසෙනවාදැයි ප්‍රශ්න කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක ආසාධිතයකු හිටියොත් මෙය විශාල වශයෙන් පැතිරයා හැකි යැයි කියා සිටියේය.

දැන් කොළඹ, ගම්පහ හා කලුතර බස්නාහිර පළාත් තුළ පවත්වාගෙන යනු ලබන වෙළෙඳ ආයතනවල බඩු වර්ග නැහැ. ඉන්ධනහල්වල තෙල් නැහැ. භූමිතෙල් නැහැ. ඒ කියන්නේ මිනිස්සු මේ ගැන බයවෙලා. මිනිසුන්ට තිබෙන බය ගැනවත් රජය අවධානය යොමු කර නැහැ. ඒ නිසා ජනාධිපති ඇතුළු රජය මීට වඩා අවධානය යොමුකළ යුතුයි. දේශපාලනය පැත්තකින් තියා මේ වෙලාවේ සියලුදෙනාම එකතුවෙලා මේ වෛරසයෙන් රට ආරක්ෂා කර ගත යුතුයි. මේක දේශපාලන මුක්කු ගැහිල්ලක් නොවේ යැයිද අර්ජුන රණතුංග හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

 ආරියරත්න ගනේගොඩ මැදකොළඹ සමූහ

නව අදහස දක්වන්න