පුත්තලමට කොච්චිකඩේට ඇඳිරි නීතිය | දිනමිණ

පුත්තලමට කොච්චිකඩේට ඇඳිරි නීතිය

ඉතාලියෙන් පැමිණ නිසි නිරෝධායනයන්ට ලක්නොවූ පිරිස් වැඩියි

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය දරුණුවටම පැතිර යමින් අති ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලින් මෙරටට පැමිණ නිසි නිරෝධායනයන්ට ලක්නොවූ පිරිස් වැඩි වශයෙන් රැදී සිටින බවට හදුනාගෙන ඇති පුත්තලම දිස්ත්‍රික්කයටත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොච්චිකඩේ පොලිස් වසමටත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් ඊයේ (18) පියවර ගත්තේය.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ පෙරේදා (18) සවස 4.30 සිට නැවත දැනුම්දෙන තුරු ඇදිරි නීතිය බලපැවැත්වෙන බවය.

දැනට ගණන් බලා ඇති ආකාරවට අනුව 1000 ට වැඩි පිරිසක් නීරෝධානයට ලක්නොවී එම ප්‍රදේශවල රැදී සිටින බව ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. එසේ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලින් පැමිණි පිරිස් සෞඛ්‍ය අංශ සමග එක්ව පොලීසිය හදුනාගැනීමේ කටයුතු වල නිරතව සිටින අතර 150 ක පමණ පිරිසක් සොයා ගැනීමට නොහැකි බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඇදිරි නීතිය පැනවීම තුළින් හදුනාගත් පිරිස් නිවෙස් තුළම නීරෝධායන කටයුත්තට යොමු කෙරෙන බවත් මෙතෙක් හදුනා ගැනීමට නොහැකි වූ පිරිස් හදුනා ගැනීමට මෙහෙයුම් දියත් කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම ප්‍රදේශවල ජනතාව නිවෙස්ව රදවා තැබීම තුළින් කොරෝනා වෛරසය පැතිරයාම වලක්වා ගැනීමට හැකියාව ලැබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා භාරදීමේ කටයුතු සිදු කිරීමට බාධාවක් නොමැති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන හා අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා ගමන් කරන බාවන වලට එම කටයුතු සිදු කිරීමට හැකියාව ඇතැයි ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

 ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න