මුල්ලේරියාව රෝහල ඇමැතිනී පවිත්‍රාගේ නිරීක්ෂණයට | දිනමිණ

මුල්ලේරියාව රෝහල ඇමැතිනී පවිත්‍රාගේ නිරීක්ෂණයට

සන්ධ්‍යා කරුණාරත්න
 
කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට නවීකරණය කරන මුල්ලේරියාව රෝහල නිරීක්ෂණයට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙරේදා (21) සහභාගි වූවාය.
 
මෙම රෝහල තුළ ගිලන් ඇඳන් 500 ක් පමණ තිබෙන අතර , ඉන් ඇඳන් 100 ක් කොරෝනා වෛරසය ආසාදිත සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රතිකාරවලට ද, අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 30 කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ද පිහිටුවීමට නියමිතය.
 
මෙම ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ හමුදාවන් විසින් සිදු කරන අතර ඊයේ (22) දින ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම සිදුකෙරිණ. 
 
මෙම රෝහලට අවශ්‍ය විශේෂ ගිලන් ඇඳන් ඇතුළු සියලු වෛද්‍ය උපකරණ ලබාදීම සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
 
මෙම අවස්ථාවට මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  ප්‍රියන්ත කරුණාරත්න මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.
 

නව අදහස දක්වන්න