කොරෝනා මැඩ පවත්වන්න සැවොම සහාය දෙන්න | දිනමිණ

කොරෝනා මැඩ පවත්වන්න සැවොම සහාය දෙන්න

නුවන් කොඩිකාර
 
හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන
 
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම සඳහා සමසත් ජනතාවගේ ම සහය රජයට ලබාදෙන්නැයි හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉල්ලා සිටී.
 
පාට පක්ෂ හෝ දේශපාලන බේද නොසලකා සියලුදෙනා එක්ට අතවැල් බැඳගත හොත් ඉතා ඉක්මනින් මෙම වෛරසය ව්‍යාප්ත වීම වලක්වා ගත හැකි බවත් රජයක් වශයෙන් ඒ සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක් ම මේ වන විට ගනිමින් සිටින බවත් හෙතෙම කීවේය.
 
රජය ඇතැම් ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ජනතාවගේම ආරක්ෂා වෙනුවෙන් බව පවසන ඒ මහතා එහිදී යම් පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නම් එය කෙසේ හෝ විදදරාගෙන මෙම වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීමට සහය දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව  කියා සිටියේය.
 
මෙම වෛරසය යොදා ගනිමින් ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් සිටින බවත් එවැනි පහත් ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙළා දකින් බවත් අබේවර්ධන මහතා පැවසීය.
 
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගතයුතු ක්‍රියාමාර්ග නිසි වෙලාවට ගෙන ඇති බව පෙන්වා දුන් හෙතෙම ඇතැම් අයට ඕනෑ තරම් ප්‍රකාශ සිදුකළ හැකි වුවද එය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ප්‍රායෝගික ගැටළු සම්බන්ධව ද අවධානය යෙදවීමට රජයට සිදුවන බවද කීවේය.
 
ලෝකයේ අනෙක් රටවල් හා සංසන්ධනය කිරීමේ දී ශ්‍රී ලංකාව නිරෝධන ක්‍රියාවලිය අතින් ඉහළින් සිටින බවත් මෙරට සෞඛ්‍ය අංශ, ත්‍රිවිද හමුදාව ප්‍රමුඛ පොලිසිය හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් ලබාදෙන සේවයට සමස්ත ජනතාව හිසනවා ගෞරවය පුදකළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.
 
හිටපු රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
ඇතැම් අය කියනවා මේ වෛරස තත්ත්වය පිළිබඳ ආරංචි වුණ ගමන් ගුවන් තොටුපොළවල් වසා දමන්න තිබුණා. රට වහන්න තිබුණා කියලා. එහෙත් ඒ අය කියන තරම් පහසුවෙන් ඒ දේවල් කරන්න පුළුවන් නම් රජය එය නොකර ඉන්නේ නැහැ. 
 
නමුත් රටක් පාලනය කරද්දි යම් යම් ක්‍රමවේදයන් තිබෙනවා. එහෙම නැතුව අපිට හිතුනු හිතුනු වෙලාවට එහෙම වහන්න බැහැ. එය තේරුම් ගත යුතුයි. කවුරු මොන චෝදනාව කළත් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව නිසි වෙලාවට නිසි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ නිසා තමයි අපිට මෙය පාලනය කරගන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. 
මේ තත්ත්වය මේ තරම් දුරට ව්‍යාප්ත වුණේ අපේ ජනතාවගේ තිබෙන නොසලැකිල්ල නිසයි.
 
 මේ තරම් උපදෙස් ලබා දී තිබියෙදීත් ඔවුන් එය ගණන් නොගෙන වැඩ කරපු නිසා මෙය මේ තරම් දුරට මෙය ව්‍යාප්ත වුණේ. එම නිසා සමස්ත ජනතාගෙන් ම ඉල්ලන්නේ ඔබෙත් ඔබේ පවුලේත් ආරක්ෂාව වෙනුවෙන් රජය ලබාදුන් නිසි උපදෙස් අනුගමනය කරන ලෙසයි. 

නව අදහස දක්වන්න