කොරෝනා වලින් ආරක්ෂා වන්නේ කෙසේද | දිනමිණ


 

කොරෝනා වලින් ආරක්ෂා වන්නේ කෙසේද

 
කොරෝනා වෛරසය යනු කුමක්ද?
 
සතුන් හෝ මිනිසුන් තුළ රෝගාබාධ ඇති කළ හැකි විශාල වෛරස්  පවුලකට අයත් කිරීටක වෛරසයකි. සෙම්ප්‍රතිශ්‍යාවේ සිට උග්‍ර ස්වසන සින්ඩ්‍රෝමය (SARS)  වැනි දරුණු රෝග දක්වා ආසාදන ඇති කරවන වෛරස් වර්ග අතර 2019 දෙසැම්බර් මාසයේ දී සොයා ගන්නා ලද කොවිඩ් 19 නැමැති රෝගය කොරෝනා වෛරසය නිසා බෝවන රෝගයකි.
 
කොවිඩ් 19හි රෝග ලක්ෂණ මොනවාද?
 
මෙහි පොදු රෝග ලක්ෂණ වන්නේ උණ විඩාව සහ වියලි කැස්සයි. සමහර රෝගීන්ට කැක්කුම සහ වේදනාව, නාසයෙහි තදබදය, උගුරේ අමාරුව හෝ පාචනය වැනි තත්ත්වයන් ඇතිවිය හැක. ඇතැම්විට මෙම වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් වර්ධනය නොවන අතර අසනීප බවක් නොදනී තිබීමටද හැකියාවක් ඇත. සියයට අසූවක් පමණ දෙනෙකුට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර කොවිඩ් 19 රෝගය වැළඳෙන සෑම හය දෙනකුගෙන් එක් අයකුට රෝගයේ බරපතල බලපෑම් වලට මුහුණ දෙන්නට සිදුවේ. වැඩිහිටි පුද්ගලයින්ට , අධි රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝග ඇති අයට තත්ත්වය බරපතළ වීමට ඇති ඉඩකඩ වැඩිය.
 
කොවිඩ් 19 පැතිරෙන්නේ කෙසේද?
 
වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුගේ කැස්ස හෝ හුස්ම ගන්නා විට නාසයෙන් සහ මුඛයෙන් නිකුත් වන කුඩා ජල බිඳිති හරහා රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය.  මෙම ජල බිඳිති පුද්ගලයා වටා ඇති වස්තූන් මත පතිත වීමෙන් පසු අනිත් අය එම වස්තූන් ස්පර්ශ කර ඔවුන්ගේ ඇස් නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් මෙම වෛරසය ශරීරගත වේ. අසනීපව සිටින පුද්ගලයාට මීටරයකට වඩා දුරින් සිටීම වැදගත්ය.
 
කොවිඩ් 19 වාතය හරහා ම්ප්‍රේෂණය වනවා ද?
 
  මේ දක්වා කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම වෛරසය සම්ප්‍රේෂණය වන්නේ වාතය හරහා නොව ස්වසන ජල බිඳිති සම්බන්ධ වීමෙන් පමණක් බවයි.
 
රෝගයෙන් පෙළෙන අයකු ගේ මළ මුත්‍රා මගින් කොවිඩ් 19 බෝ වීමට ඉඩක් තිබේද?
 
ආසාදිත පුද්ගලයෙකුගේ මළ මුත්‍රා වලින් මෙම වෛරසය ශරීරගත වීමේ අවදානම අඩු බවක් පෙනේ. මූලික පරීක්ෂණ වලින් පෙනීයන්නේ සමහර අවස්ථාවලදී වෛරසය මළ මුත්‍රාවල තිබිය හැකි නමුත් ඒ හරහා පැතිරී යෑමේ අවදානමක් නැති බවයි. ‍ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ අඛණ්ඩ පර්යේෂණ ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරමින් සිටින අතර මෙතෙක් මළ මුත්‍රා වලින් බෝ වීමේ අවස්ථාවක් පෙන්නුම් නොකළ නමුත් අවදානමක් ඇති බැවින් නාන කාමර භාවිතා කිරීමෙන් පසුව සහ කෑමට පෙර නිතිපතා දෑත් පිරිසිදු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය.
 
මෙම වෛරසයෙන් ආරක්ෂාවීමට සහ එය පැතිරීම වැළැක්වීමට අපට කලහැකි මොනවාද ?
 
ජාතික හෝ ප්‍රාදේශීය මහජන සෞඛ්‍යය දෙපාර්තමේන්තු හරහා ලබා ගත හැකි නවතම තොරතුරු පිළිබඳ දැනුවත් වන්න. ලොව පුරා බොහෝ රටවල රෝගීන් මුණගැසී ඇති අතර චීනයේ සහ තවත් සමහර රටවල රෝග පැතිරීම මන්දගාමී කිරීමට හෝ නැවැත්වීමට සමත්වී තිබේ. කෙසේ වෙතත් තත්ත්වය අනපේක්ෂිත බැවින් නිතරම පරීක්ෂාවෙන් පසු වන්න.
 
රෝගය පැතිරීම හෝ වැළැක්වීමට අනුගමනය කළ හැකි සරල පූර්වෝපායන් මොනවාද ?
 
ඇල්කොහොල් අඩංගු දෑත් සෝදන රසායනයක් භාවිතයෙන් දිනපතා දෑත් හොඳින් පිරිසිදු කරගන්න.  කැස්ස හෝ කිවිසුම් යන ඕනෑම අයකු අතර අවම වශයෙන් මීටරයක දුර පවත්වාගන්න. ඇස් නාසය සහ මුඛය නිතර ස්පර්ශ කිරීමෙන් වලකින්න. ඔබ සහ ඔබ අවට සිටින අය හොඳ ස්වසන සනීපාරක්ෂාවක් අනුගමනය කරන බවට වග බලා ගන්න. ඔබට අසනීප බවක් දැනේ නම් නිවසේ රැඳී සිටින්න.  කැස්ස හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන නිරෝධායනය ආරම්භ කරන්න.
නිරෝධායනය ලබන අතර ඔබට යම්කිසි සැපයුමක් ලබා ගැනීමට අත්‍යවශ්‍ය නම් පුද්ගලයින්ට ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණයක් පළඳින්න.
 
කොවිඩ් 19 රෝගය යමකුට ආසාදනය වීමට ඇති අවකාශය කොතරම්ද?
 
අවදානම  රඳාපවතින්නේ ඔබ සිටින ස්ථානය මතය. දැනට ලොව පුරා රෝගය පැතිරෙන ස්ථාන තිබේ. එම ප්‍රදේශවල ජීවත්වන හෝ සංචාරය කරන පුද්ගලයන්ට මෙම වෛරසය ශරීරගත වීමේ අවදානම වැඩිය. නව රෝගියකු හඳුනා ගත් සෑම අවස්ථාවකම රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. රෝග පාලන ප්‍රයත්නයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් මෙම වෛරසය පැතිරී යෑමේ අවධානම අඩුවේ.
 
මෙම රෝගය වැළැක්වීම සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම ප්‍රතිඵලදායි ද?
 
ප්‍රතිජීවක වෛරස වලට එරෙහිව ක්‍රියා නොකරයි. ඒවා ක්‍රියාත්මක වන්නේ බැක්ටීරියා ආසාදන සඳහා පමණි. ප්‍රතිජීවක භාවිතා කිරීම වෛද්‍ය උපදෙස් අනුව පමණක් සිදු කළ යුතුය. කොවිඩ් 19 වෛරයකින් බෝ වන රෝගයක් නිසා  ප්‍රතිජීවක භාවිතයෙන් ප්‍රයෝජනයක් නොවේ. සමහර බටහිර සහ සාම්ප්‍රදායික හෝ  අත් බෙහෙත් මගින්  සුව පහසුවක් සැලසීම  සහ රෝග ලක්ෂණ සමනය කළ හැකි නමුත් රෝගය වැළැක්වීම සඳහා මේ වනවිටත් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැත. බටහිර සහ සාම්ප්‍රදායික ඖෂධ ඇතුළත් සායනික අත්හදාබැලිම් කිහිපයක් මේ වන විට සිදුවේ.
 
කොවිඩ් 19 යනු සාර්ස් රෝගයට සමාන රෝගයක් ද?
 
2003 වර්ෂයේදී දරුණු උග්‍ර ස්වසන සින්ඩ්‍රෝමය හෙවත් සාර්ස් සඳහා හේතු වූ වෛරසය සහ කොරෝනා එකිනෙකාට ජානමය වශයෙන් සම්බන්ධ වන නමුත් සාර්ස් රෝගය කොවිඩ් 19ට වඩා මාරාන්තික බෝවන රෝගයකි. 2003 වසරෙන් පසු මේ වනතුරු සාර්ස් රෝගය ලෝකයේ කිසිදු තැනක පැතිරීමක් සිදු වී නැත.
 
මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණයක් පැළඳිය යුතු ද?
 
ආසාදිත රෝගයකු රැකබලා ගන්නා අයකු අනිවාර්යෙන් මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.  ඉවත දැමිය හැකි මුහුණු ආවරණ භාවිතා කරනවා නම් ඒවා භාවිතා කළ යුත්තේ එක වරක් පමණි.
 
මුහුණු ආවරණයක් පැලඳීම, භාවිතා කිරීම සහ ඉවත් කිරීම කරන්නේ කෙසේද?
 
සෞඛ්‍ය සේවකයින්, රැකබලා ගන්නන් සහ රෝග ලක්ෂණ ඇති අය  මුහුණු ආවරණ භාවිතා කළ යුතු අතර මුහුණු ආවරණය ස්පර්ශ කිරීමට පෙර ඇල්කොහොල් මත පදනම් වූ රබර් අත් වැසුම් හෝ සබන් ගා ජලය සමග පිරිසුදු කරගත් දෑත් වලින්  මුහුණු ආවරණයෙහි වර්ණ පැත්ත පිටතට තබා ඔබේ මුහුණට එය තබන්න. නාසයේ හැඩයට හැඩගැසෙන පරිදි එය තද කර  සවි කරන්න. එය පහලට අදින්න එවිට ඔබේ මුඛය සහ නිකට ආවරණය කරයි. භාවිතයෙන් පසු එය ගලවා පරිසරයට මුදා හැරීමෙන් වැලකී ආරක්ෂිතව  බඳුනක දමා ඉවතලන්න.
 
කොරෝනා වෛරසය සත්ව ප්‍රභවයකින් මිනිසුන්ට ආසාදනය විය හැකි ද?
 
කොරෝනා වෛරසය යනු සතුන් තුළ බහුලව දක්නට ලැබෙන වයිරස් පවුලක සාමාජිකයෙක් වන නමුත් එය සතුන්ගෙන් බෝවෙන බවට තහවුරු වී නැත.  නමුත් සජීවී සත්ව වෙළෙඳ පොළවල් වෙත යාම වැනි දේවල් වලින් ආරක්ෂා වීම සහ හැමවිටම යහපත් ආහාර සුරක්ෂිතතා පිළිවෙතක් අනුගමනය කිරීම වැදගත්ය. අමු මස්, කිරි හෝ  සත්ව ආහාර ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු අතර පිසූ ආහාර අපවිත්‍ර වීම වලක්වා ගැනීමට කටයුතු කළ යුතුය.
 
සුරතල් සතුන්ට කොරෝනා  වෛරසය ආසාදනය විය හැකි ද?
 
හොංකොංහි සුනඛයෙකුට ආසාදනය වී ඇති බවට එක් අවස්ථාවක තහවුරු වූ  නමුත් බල්ලෙකුට බල්ලෙකුට හෝ සුරතල් සතෙකුට කොවිඩ් 19 සම්ප්‍රේෂණය කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැත.
 
කොවිඩ් 19 රෝගයට අහිතකර තවත් දේවල් තිබේද?
 
දුම්පානය කරන පුද්ගලයකුට හෝ වයෝවෘද්ධ  පුද්ගලයකුට එය වැළඳීමට අන් පුද්ගලයකුට වඩා වැඩි ප්‍රවණතාවයක් ඇත. ස්වසන රෝගීන් මෙම රෝගයට බඳුන් වීමද අවදානම් ය.  මුහුණු ආවරණ පොදුවේ භාවිතා කිරීම, වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගැනීම ආදිය අහිතකර වේ. කෙසේ වෙතත් ඔබට රෝග ලක්ෂණ එකක් හෝ ඇත්නම් වඩාත් දරුණු ආසාදනයක් ඇති වීමේ අවදානම අඩු කර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ඔබේ මෑතකාලීන සංචාරක ඉතිහාසය සෞඛ්‍ය සේවා සැපයුම්කරු සමඟ බෙදා ගැනීමට වගබලා ගන්න.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයෙ හි වෙබ් අඩවිය ඇසුරින්
 
දිල්රූ ජයසේකර
 

නව අදහස දක්වන්න