වෛරසයට වඩා භයානක රටේ වෙද්දු | දිනමිණ


 

වෛරසයට වඩා භයානක රටේ වෙද්දු

 
චතුර කුමාරතුංග
ආයුර්වේද කොමසාරිස්
 
 වත්මන් ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ලෙස ආයුර්වේ්ද වෛද්‍ය ක්‍රම හා ආයුර්වේද නිෂ්පාදන භාවිතය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. කුමන මාර්ගයකින් හෝ මුදල් සෙවීම අරමුණු කරගත් සමාජයක ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව කෙරෙහි සැලකිලිමත් වෙමින් ආයුර්වේද ඹෟෂධ නිෂ්පාදනය කිරීම, ආනයනය කිරිම හෝ අපනයනය කිරීම, එම ඖෂධ රෝගීන් වෙත නියම කිරීම හා ලියාපදිංචි වෛද්‍යවරයකු විසින් ඖෂධ ලබාදෙනවාද යන්න සහතික කර නොහැකි තරමට ම සමාජය තුළ ඖෂධ පිළිබඳ ව ව්‍යාජ වට්ටෝරු ඉදිරිපත් කිරීම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත‍. 
 අප සමාජයේ ආයුර්වේද නාමය සඳහන් වන නොයෙක් ආකාරයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හා ආයුර්වේද නිෂ්පාදන දැකගත හැකිය. නමුත් මේවා නිවැරදි ව ප්‍රමිතිගත  කරන ලද සෞඛ්‍ය සේවාවවන් හා නිෂ්පාදන දැයි ගැටලුවක් පවතී. ප්‍රමිතියෙන් තොර‍, වගකීම් විරහිත ලෙස විවිධ ඖෂධ වර්ග භාවිතයට ජනතාව හුරුකරවීම නිසා නොයෙක් පීඩාවන්ට ගොදුරුවීම වැළැක්විය නොහැකි තත්ත්වයකට පත්වී ඇත. වර්තමාන මාධ්‍ය ක්‍රියාවලිය තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකගත හැකිය. ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා පෝස්ටර්, අත්පත්‍රිකා, වීඩියෝ හා ඊට සමාන ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කරමින් තමා විසින් රෝගීන්ට ප්‍රතිකාර කරන ක්‍රම පිළිබඳ ව ප්‍රසිද්ධ කිරීම සිදුකරයි. එවැනි ප්‍රකාශ වැරදි සහගත සහ නොමඟ යවන සුළු බව දැන දැන ම ව්‍යාජ ලෙස ආයුර්වේද ප්‍රතිකර්මවල ඇති ගුණාත්මකභාවය හෝ සපලතාවය පිළිබඳ ව යම් යම් ප්‍රකාශ සිදුකරන අවස්ථා දැකගත හැකිය. 
 
ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවී තිබෙයි. වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලාංකිකයන් මෙන් ම විදේශිකයන් අතර ද ප්‍රචලිත ව පවතී. සමාජ මාධ්‍ය තුළ විවිධ ලෙඩ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ලෙස හුවමාරුවන බෙහෙත් වට්ටෝරු මෙන් ම විවිධ අත්බෙහෙත් පිළිබඳ තොරතුරු ද එමට ය. විවිධ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන වගකීම් විරහිත තොරතුරුවලට අනුව ඖෂධ සකස් කර ගැනීමට පුද්ගලයන් හුරුවීම මෙහි ප්‍රතිඵලයකි. ආයුර්වේද වෛද්‍යවරුන්ට අදාළ ව ඖෂධ සංග්‍රහයක් පවතින අතර සමාජ මාධ්‍ය තුළ සඳහන්වන  ආයුර්වේද වට්ටෝරු භාවිත කිරීමෙන් පුද්ගලයාට මරණය ද අත්විය හැකිය.
 
මෙවැනි කරුණු පිළිබඳ ව සැලකිලිමත් වෙමින් ආයුර්වේද වෛද්‍ය සභාව  විසින් ආයුර්වේද වෛද්‍යවරුන් වෙත පණතක් ඉදිරිපත් කර ඇත. ලියාපදිංචි වෛද්‍යවරයකුට හැර වෙනත් කිසිම පුද්ගලයකුට රෝගියකු සඳහා බෙහෙත් වට්ටෝරු නියම කිරීමට  1961 අංක 31 දරන ආයුර්වේද පනත අනුව නොහැකිය. ආයුර්වේද ඹෟෂධ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාරවලට හා පුද්ගලයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පවතී. එහි 69 වැනි වගන්තිය අනුව ඖෂධ පිළිබඳ ව සමාජ මාධ්‍ය ජාලා හා වෙනත් ප්‍රචාරණ මාධ්‍යයන් ඔස්සේ ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීම වරදකි. 
 
ආයුර්වේද ඖෂධ නිපදවීමෙහි, ආනයනය කිරීමෙහි හෝ අපනයනය කිරීමෙහි නියැලී සිටින ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකු තත්කාලයේ බලපවත්නා නීති රීතිවලට අනුකූල ව ක්‍රියාකළත් ව්‍යාජ ලෙස  පහත් තත්ත්වයේ ආයුර්වේද ඖෂධ අළෙවි කිරීම ආනයනය කිරීම හෝ අපනයනය කිරීම වෘත්තිමය විෂමාචාරයකි. පර්යේෂණාත්මක තහවුරු කිරීමකින් තොර ව ඖෂධ වට්ටෝරු භාවිත කිරීම සඳහා මහජනතාව පෙලඹවීම හා නොමඟ යවනසුලු ප්‍රකාශ කරන තැනැත්තන් සම්බන්ධයෙන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි ය. 
 
ආයුර්වේද පනතේ සඳහන් කර ඇති ආකාරයට සෑම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකු ම ඉහළ තත්ත්වයේ වෘත්තිමය චර්යාවක් පවත්වාගෙන යා යුතුය. ආයුර්වේද වෛද්‍ය වෘත්තියට අදාළ ව ආණ්ඩුව විසින් පනවනු ලබන නීති, රීති සහ නියෝග පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබාගත යුතු මෙන් ම ඊට අනුකූල ව ක්‍රියාකළ යුතුය. කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ කාර්යයන් පුළුල් කළ යුතු බව රජය හඳුනාගෙන තිබීම හොඳ ප්‍රවණතාවයකි. 
 
ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකු විසින් පෞද්ගලික ඖෂධ වට්ටෝරුවක් පිළියෙළ කරනු ලබන අවස්ථාවක  එම ඖෂධය රෝගියකු වෙත නියම කිරීමේදී එම ඖෂධයේ වගකීම එම වෛද්‍යවරයා වෙත පැවරෙයි. සෑම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකු  ම තම ලියාපදිංවිය වසර පහකට වරක් අලුත් කළ යුතුය. 
 
මෙම නීතිවලට අනුව ක්‍රියා කළ යුතු අතර එම නීතිවලින් එකක් හෝ වැඩි ප්‍රමාණයක් කඩකිරීම වෘත්තිමය විෂමාචාරයක් සේ සලකනු ලැබේ. 1973 ආයුර්වේද (විනය) නියෝග යටතේ පවත්වනු ලබන පර්යේෂණයකින් පසුව වෘත්තිමය විෂමාචාර සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කරණු ලබන ආයුර්වේද වෘත්තිකයකුගේ ලියාපදිංචිය, වෛද්‍ය සභාව විසින් අවලංගු කිරීම හෝ අත්හිටුවීම කළ හැකිය. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 57 වගන්තියේ විධි විධාන, අවශ්‍ය වෙනස්කම් සහිතව, එකී ලියාපදිංචිය අවලංගු කිරීම හා තාවකාලිකව අත්හිටු වීම සම්බන්ධයෙන් අදාළ කර ගත යුතුය. යම් ක්‍රියාවක් සිදු කිරීම මෙම නීතිවලට ඇතුළත් කර නොමැති බවට වෛද්‍ය සභාව විසින් සලකනු ලබන අවස්ථාවක වුවද වෛද්‍ය වෘත්තියට අදාළ පාර්ශ්ව නිසා අපකීර්තියක් සිදුවේ යැයි වෛද්‍ය සභාවට පෙනී යන්නේ නම් 1973 ආයුර්වේද (විනය) නියෝග යටතේ නඩු පැවරිය හැකිය. 
 
පළපුරුද්දක් නොමැති ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකු විසින් හෝ පළපුරුද්දක් නොමැති පුද්ගලයකු සේවයේ යොදවා ඇති නම් මහජනතාවට ඒ පිළිබඳ  අදාළ පාර්ශ්ව වෙත දැනුම් දිය යුතුය. එසේ කිරීමෙන් රෝගියාගේ මෙන් ම ප්‍රතිකාර ලබාගැනීමට බලාපොරොත්තු වන පාර්ශ්වයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවනු ඇත.
  
 සෑම ආයුර්වේද වෛද්‍යවරයකු ම තමා ප්‍රතිකාර කරන ලද රෝගීන් පිළිබඳ නිම ලේඛනයක් හා ඔවුන්ගේ ‍කෙටි විස්තරයක් සටහන් කර තබාගත යුතුය. ප්‍රතිකාර ලබාගත් රෝගියකු පිළිබඳ ව විස්තර හෝ එම රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳ ව කිසිදු තොරතුරක් තුන්වන පාර්ශ්වයට හෙළි දරව් කිරීමට  වෛද්‍යවරයාට අයිතියක් නොමැත. ආයුර්වේද පනත මඟින් ඒ සඳහා වෛද්‍යවරයාට අවකාශ සලසා දී නැත. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගියකු මියගියහොත් පැවරී ඇති වගකීම්වලින් නිදහස්වීමට අදාළ වෛද්‍යවරයාට නොහැකිය.
 
රෝගීන්ට උපදෙස් ලබාදෙන ලිපි පුවත්පත්වල පළකිරීම, පුවත්පත්වලට හා විද්‍යුත් මාධ්‍යවලට සම්මුඛ සාකච්ඡා ලබාදිම සහ එවැනි සම්මුඛ සාකච්ඡාවලදි යම් වෛද්‍යමය ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකියාවක් පවතින්නේ සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයකුට පමණි.
සෑම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකු ම තම සේවා ස්ථානයේ නාම පුවරුව ප්‍රදර්ශනය කිරීමෙන් වඩා විශ්වාසදායී සේවාවක් මහජනතාවට ලබාදිය හැකිය. වෛද්‍යවරයා සභාවේ ලියාපදිංචි වී ඇති නම සහ වෘත්තිමය සුදුසුකම් පමණක් එහි සඳහන් කළ යුතුය. එම වෘත්තිමය සුදුසුකම් නමට වඩා කුඩා අකුරින් සඳහන් කර නාම පුවරුවල සුදු කළු, කහ සහ කොළ යන වර්ණ වලින් පමණක් භාවිත කළ යුතුය.
පනතට ප්‍රකාරව යම් පුද්ගලයකු මූල්‍යමය හෝ වෘත්තිමය හෝ වාසියක් ලබාගැනීම සඳහා වෙළෙඳ ප්‍රචාරණ තැරැව්කරුවන් මාර්ගයෙන් කටයුතු නොකළ යුතුය. මෙහිදී තැරැවිකරුවන් යෙදවීම ලෙස අදහස් කරන්නේ ආයුර්වේද වෛද්‍යවරයකු, තමා විසින් හෝ වෙනත් තැනැත්තක් හරහා ප්‍රචාරණ කටයුතු සිදුකර තමා වෙත රෝගීන් ඇදගැනීම හෝ පෙළඹවීම සිදුකර ගන්නා අවස්ථා ය. ආයුර්වේද ප්‍රතිකාරවලදී ඒ ඒ රෝගියා අනුව යොදනු ලබන ඖෂධ වර්ග වෙනස් වෙයි.  එම නිසා මහජනතාව වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ වර්ග ලබාගැනීමේදී බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුය.  
 
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා පළපුරුද්දක් නොමැති පුද්ගලයන් සේවය සඳහා යොදවා නොගත යුතුය . සහතිකයක මවෛද්‍යවරයාගේ නම, ලිපිනය, සභාවේ ලියාපදිංචි අංකය‍, දිනය‍, අත්සන සහ නිල මුද්‍රාව ඇතුළත් විය යුතුය. මෙලෙස කටයුතු නොකරන පුද්ගලයන්ගෙන් හෝ ස්ථානවලින්  ප්‍රතිකාර ලබාගැනීම නිසා හානි වන්නේ රෝගියාගේ ජීවිතයටය. ආයුර්වේද ප්‍රතිකාර හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේ්දී හෝ අදාළ උපදෙස් පිළිගැනීමට රෝගියා කටයුතු කළ යුතුය. 
 
ආයුර්වේද පනත යටතේ පිහිටුවන ලද ආයුර්වේද වෛද්‍ය සභාව විසින් වර්තමානයේ දි  දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම, නියාමනය කිරීම හා ඔවුන්ගේ ආචාරධර්ම සම්බන්ධයෙන් කටයුතු කිරීම කාලෝචිතය. 
ආයුර්වේදයේ පරම අපේක්ෂාව මිනිසාගේ ආයුෂ විදීම මෙන් ම ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරිමයි. 
 
ඇසට නොපෙනෙන විෂබීජ පැතිරයාම වැළැක්වීම සඳහා අතීතයේ දේශීය ආයුර්වේද ක්‍රමවේද පැවතිණි. එදවස පැවැති ඒ යහපත් සෞඛ්‍ය පුරුදු අද දවසේ නැවත ක්‍රියාවට නැංවිමට කාලය එළඹ ඇත. ශාකමය ඖෂධ භාවිතය පිළිබඳ ඉතිහාසය වසර දහස් ගණනක් පැරණි ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිගත් ප්‍රකාරවලට එකඟ ය.  
 
අතීතයේ පවා මෙලෙස ඇසට නොපෙනෙන විෂබීජ පැතිරයාම වැළැක්වීම සඳහා දේශීය ආයුර්වේද ක්‍රම යොදාගෙන ඇත. යම් නිවසකට විෂබීජයක් ඇතුළු වී රෝගයක් ඇතිවුවහොත් එය පැතිරීම වැළැක්වීම සඳහා එම නිවෙස්වල නිරෝධායන ක්‍රම ක්‍රියාවට නංවා ඇත. කහ දියරට දෙහි පෙති කිහිපයක් මිශ්‍ර කර භාවිත කිරීම, කහ මිශ්‍ර ජලයෙන් මුහුණ අතපය සේදීම, විවිධ ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවලට අනුව සකසා ගත් විෂබීජ හරණය කිරීම සඳහා ධූමායන ක්‍රම භාවිත කළහ. විෂබීජ පැතිරයාමට ඉවහල්වේ යැයි සිතන ක්‍රයාකාරකම් සිදු නොකිරීමට වගබලා ගත්තේ ය. ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට ක්‍රියාකිරීම, දේශීය ආහාර රටාවන්ට අනුව සකස් කළ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට ගැනීම සහ දේශීය ඖෂධ භාවිතයට ගැනීම ආදිය සුදුසුය . නිවෙස්වල ආහාර ද්‍රව්‍ය පිළියෙළ කිරීමේදී කුරුදු, කහ,ගම්මිරිස්, සුදු ලූණු වැනි දෑ වැඩි වශයෙන් එක් කිරීම සෞඛ්‍ය ආරක්ෂිතය. කුමන පිළියම් භාව්තා කළ  ද බෝවන රෝග පැතිරීම වැළැක්වීම සඳහා පියවර  ගතයුතු ය. යම් රෝගියකුගේ රෝගයෙන් සමාජයට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි නම් වහාම ඒ පිළිබඳ ව අදාළ  බලධාරීන් දැනුවත් කළ යුතු වේ. 
 
අසරණ වූ රෝගින් රවටා මුදල් සූරාකන ඇතැම් පාර්ශ්ව විවිධ අයුරින් මාධ්‍ය තුළ පෙනී සිට ප්‍රසිද්ධියේ හෝ රෝගින් ඉදිරිපිට වෙනත් වෛද්‍යවරුන් ද්වේශසහගත ලෙස විවේචනය කරන අවස්ථා දැකගත හැකිය. පනතේ සඳහන් කරන කරුණු අනුව කිසිම පාර්ශ්වයකට එසේ සිදුකළ  නොහැකි ය. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හමුවී නිසි ප්‍රතිකාර ලබාගැනීම නුවණට හුරු ය. 
 
ආයුර්වේද පනතේ සඳහන් කර ඇති ආකාරයට සෑම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකු ම ඉහළ තත්ත්වයේ වෘත්තිමය චර්යාවක් පවත්වාගෙන යා යුතුය. වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ඕනෑම පාර්ශ්වයකට වෘත්තිමය චර්යාවක් පවත්වා ගෙන යාම කළ නොහැකි ය. ආයුර්වේද වෛද්‍ය වෘත්තියට අදාළ ව ආණ්ඩුව විසින් පනවනු ලබන නීති රීති හා නියෝග පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් සියලු පාර්ශ්වවලට ලබා දෙන්නේ නම් මෙවැනි ව්‍යාකූලතා සමාජය තුළ ඇති නොවේ. 
 
පමුදිනි සමරනායක.

නව අදහස දක්වන්න