කොරෝනා භීතිය මැද කැරිබියන් විස්සයි 20 අගෝස්තුවේදී | දිනමිණ

කොරෝනා භීතිය මැද කැරිබියන් විස්සයි 20 අගෝස්තුවේදී

නිරෝෂන් ප්‍රියංකර

කොරෝනා වෛරසය ලොව භීතියට පත් කරමින් ජන ජීවිතය⁣ට මෙන්ම ක්‍රීඩා පිටියට ද දැඩි බලපෑම් එල්ල කරද්දී බටහිර ඉන්දීය කො⁣දෙව් දූපත්හී පැවැත්වෙන ප්‍රමුඛතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 'කැරිබියන් ලීග්' අගෝස්තු මස පැවැත්වීමට දින නියම කරයි. කොරෝනා තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර මෙන්ම දේශිය තරගාවලි රැසක් අත්හිටුවීමට හෝ කල් දැමීමට එක් එක් රටවල සංවිධායකයන් කටයුතු කරද්දී කැරිබියන් ලීග් තරගාවලියේ සංවිධායක කමිටුව පසුගියදා රැස්වීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ එම තරගාවලිය එළැඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමටයි.

වෛද්‍ය උපදේශකයන් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සමගත් සාකච්ඡා කිරීමෙන් පසුව මේ තීරණය ගනු ලැබූ බව තරග සංවිධායකයෝ කියති.'පසුගිය සතිය තුළ රැස්වී වෛද්‍ය උපදේශකයන්ගේ ද මඟ පෙන්වීම මත කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරියේ දී කුමන අයුරින් වෙනස් වෙයිද කියලා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහි ප්‍රතිඵල මත සහ අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සමගත් සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් තීරණයකට එළැඹුණා.

තරගාවලිය පැවැත්වෙන දින වකවානුවල ලොකු වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් තවමත් පැන නැගී නෑ.' සංවිධායකයෝ කියති.කෙසේ වෙතත් මේ තත්ත්වය ඉදිරියේදී කුමන අයුරින් වෙනස් වෙයිද, කුමන තත්ත්වයක් උදාවෙයිද යන්න නොදන්නා බැවින් ඉදිරියේ සිදුවන වෙනස්වීම් පිළිබඳ තමන් හොඳ අවධානයකින් පසුවන බව පවසන තරගාවලියේ සංවිධායකයෝ තරගාවලිය කල් දැමීම වැනි විශාල තීරණයක් ගැනීමට පෙර ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක නිරත විය යුතු බවද කියා සිටිති.මේ තත්ත්වය හේතුවෙන් ලොව ප්‍රධාන පෙලේ ක්‍රීඩා තරගාවලි රැසක් ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට කළින් තීරණය කර තිබූ අතර පසුව ඒවා කල් දැමීමට තීරණය විය.ඒ යටතට ලොව වැඩිම ආකර්ෂණයක් දිනාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියත් ඇතුළත් ය. මේ මස ආරම්භවීමට නියමිතව තිබූ අයි.පී.එල්. තරගාවලිය මුලින් තීරණය කර තිබුණේ ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමටය.

එහෙත් පසුව ලබන මස 15 වැනිදා දක්වා කල් දැමීමට පියවර ගත්තේය.මේ තත්ත්වය මත ටෙස්ට් තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද තරගාවලිය කල් දමා යළිත් සිය රට බලා පිටත්ව ගිය අතර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියද කල් දමා ඇත.  

 

නව අදහස දක්වන්න