කොළඹ-ගම්පහ-කළුතර අධි අවදානම් කලාප වෙයි | දිනමිණ

කොළඹ-ගම්පහ-කළුතර අධි අවදානම් කලාප වෙයි

* ඇඳිරී නීතියත් දීර්ඝ කරයි

* අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක්

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක ලෙස හඳුනා ගැනීමත් සමඟ එම දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරී නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.

එමෙන් ම මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම රැගෙනවිත් දීමට විශේෂ වැඩපිළිවෙළක් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර එම සේවා අද (25) සිට ක්‍රියාත්මක වන බවත් ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, යතුරු පැදි ඇතුළු එම බෙදාහැරීමේ කටයුතුවලට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ලබා දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂම ව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර බව පෙන්වා දෙන එම මාධ්‍ය අංශය එහි සෙසු සමාජිකයන් ලෙස‍ අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ පත්කර ඇති බව පවසයි.

ඇඳිරි නීතිය ඊයේ (24) උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳසල් අසල විශාල ලෙස රැස් වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලට ම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇති බවත් සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගන්නා බවත් රජය කියයි.

නුවන් කොඩිකාර සහ චමීර ඇල්ලදෙණිය

 

නව අදහස දක්වන්න