සෞභාග්‍යයේ දැක්ම හා ආපදා කළමණාකරණය | දිනමිණ


 

සෞභාග්‍යයේ දැක්ම හා ආපදා කළමණාකරණය

ආචාර්ය සූරතිස්ස දිසානායක
සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යනාංශය - කොළඹ විශ්වවිද්‍යාලය


අද වන විට මුළු ලෝකයම මුහුණ දී ඇති ප්‍රධනතම ගැටළුව වන්නේ කොවිඩ් - 19 බව ඔබ අප කාහටත් පසක් වනු ඇත. මේ වන විට මෑතකාලීන වසංගතයක් මඟින් ලොව දිනකට මිය යන මිනිසුන් සංඛ්‍යාව කොවිඩ්- 19 නිසා සිදුවනවා ඇත. එමඟින් මරණ වලට අමතරව බොහෝමයක් ලෝක බලවතුන්ගේ පවා ආර්ථීකය සීඝ්‍රයෙන් පසුබෑමකට ලක්වනු නොඅනුමානය. මෙවැනි වසංගත තත්ත්වයන් මඟින් මේ වන විට ලෝකයේ ඉතිහාසගත වෙනස්වීම් මෙන්ම සමහර ශිෂ්ටාචාරවල විනාශයන් පිළිබඳව අපට අතීතයෙන් සාක්ෂි සපයනවා ඇත.

පුරාවිද්‍යාත්මක කැණීම් හා ලිඛිත දත්ත මඟින් හඳුනාගත් එවැනි වසංගත තත්ත්වයන් 20 ක් පමණ මේ වන විට ලෝකය පුරා ප්‍රාග්ඓතිහාසික යුගයේ සිට මේ දක්වා සිදුව ඇත. මෙතැන් සිට ඉතා සුළුවෙන් ඔබගේ දැනගැනීම සඳහා එම වසංගත තත්ත්වයන් හා සිදුවු විපාකයන් පහතින් දක්වා ඇත.

01) අදින් වසර 5000 කට පමණ ඉහතදී චීනයේ ඇති වූ ප්‍රාග් ඓතිහාසික වසංගතය
මෙමඟින් චීනයේ ප්‍රාග් ඓතිහාසික ගම්මානයක් වන 'හමින් මන්ග්හා' :(Hamin Mangha)සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. මෙය උතුරු ඊසාන දිග චීනයේ ගම්මානයක් වන අතර පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් එකළ ජීවත් වූ මානවයන්ගේ ම වයස්වලට ඇති සැකිළි කොටස් මතුකර ගැනීමට හැකිව ඇත.

02) වසර 2500 කට ප්‍රථම :(430 B.C) ඇතැන්ස් මහාමාරිය
මෙමඟින් මිනිසුන් 100,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි සොයාගෙන ඇත.

03) A. D.165 - 180 අතර සිදුවූ ඇන්තෝනි මහාමාරියාව
මෙමඟින් රෝමානු අධිරාජ්‍යය තුළ මිලියන 5ක පමණක් ජන කොට්ඨාශයක් ජීවිතක්ෂයට පත්ව ඇත.

04) සයිප්‍රියන් මහාමාරිය :(A. D. 250 - 271)
මෙමඟින් දිනකට 5,000 ක පමණක් සංඛ්‍යාවක් මියගොස් ඇත.

05) A. D. 542 - 543 තුළ ඇති වූ ජස්ටීනියන් මහාමාරිය
මෙය මැදපෙරදිග සිට බටහිර යුරෝපය දක්වා ව්‍යාප්ත වූ වසංගතයක් වන අතර ලෝක ජනගහනයෙන් 10% ක් පමණ මෙයට ගොදුරු වනු ඇතැයි ගණන් බලා තිබුණි.

06) 1346 - 1353 අතර සිදු වූ 'කළු මරණ' :(Black Death)
මෙය බැක්ටීරියාවක් වන Yersinia pestis නිසා ව්‍යාප්ත වූවක් වන අතර යුරෝපා ජනගහනයෙන් 50% ක් පමණ මෙයට ගොදුරු වී ඇත. මෙම රෝගයට මැක්කන් හා මීයන් වාහකයන් ලෙස ක්‍රියාකර ඇත.

07) කොකොලිට්ෂ්ලි වසංගතය (1545 - 1548)
මෙයද වෛරස කාණ්ඩයක් වන අතර 'මැක්සිකෝව' හා මධ්‍යම ඇමරිකාව තුළ මිලියන 15 ක ජනතාවක් මෙමඟින් ජීවිතක්ෂයට පත්විය.

08) 16 වන ශතවර්ෂයේ ඇමරිකානු මහාමාරිය
මෙමඟින් ඇමරිකාවේ බටහිර අර්ධගෝලය තුළආදීවාසීන් 90% ක ප්‍රමාණයක් මියගොස් ඇත.

09) 1665 - 1666 දක්වා ලන්ඩනයේ මහාමාරිය
ලන්ඩනයේ ජනගහනයෙන් 15% ක් හෙවත් 100,000 ක් පමණ ජනතාවක් එවකට මෙමඟින් මියගොස් ඇත.

10) 1720 - 1723 මාසිලි(Marselle) මහාමාරිය
මෙය දකුණු දිග ප්‍රංශයේ නගරයක් වන අතර එකල ජනගහනයෙන් 30% ක් හෙවත් 100,000 ක පමණ ජනතාවක් මෙමඟින් මියගොස් ඇත.

11) රුසියානු මහාමාරිය (1770 - 1772)
මොස්කව් නගරය තුළ මෙමඟින් 100,000 ක් පමණ මියගොස් ඇත.

12) පිලඩෙල්ෆියා කහ උණ - 1793
පෙනිසිල්වීනියා නගරයක් වන අතර මෙමඟින් 5,000 ක පමණ සංඛ්‍යාවක් මියගොස් ඇත.

13) උණ වසංගතය (1889 - 1890)
රුසියාව ඇතුලූ රටවල් කිහිපයක මෙය පැතිරුණු අතර මිලියනයක පමණ ජනතාවක් මිය යන ලදි.

14) ඇමෙරිකානු පෝලියෝ වසංගතය - 1916
නිව්යෝක් නගරය තුළ ආසාධිත පුද්ගලයින් 27,000 කින් 6,000 ක් මියගොස් ඇත. නමුත් 1954 දී පෝලියෝ ප්‍රතිඑන්නත සොයාගැනීමත් සමඟම මෙම රෝගය සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දැමීමට හැකිව ඇත.

15) ස්පාඤ්ඤ උණ (1918 - 1920)
දකුණු දිග මුහුදේ සිට උත්තරධ්‍රැවය දක්වා වූ මිලියන 500 ක් පමණ ජනයාගෙන් 1/5 ප්‍රමාණයක් මෙම වසංගතය නිසා මියගොස් ඇත.

16) 1957 - 1958 ආසියාතික උණ
මෙම වසංගතය චීනයෙන් ව්‍යාප්ත වූවක් වන අතර එමඟින් මිලියන 1.1 පමණ ජනතාවක් ජීවිතක්ෂයට පත්විය. එයින් 116,000 ක් පමණ මිය ගොස් ඇත්තේ එක්සත් ජනපදයෙනි.

17) AIDS වසංගතය 1981 සිට අද දක්වා
මිලියන 35 කට පමණ අද වන විට ආසාධනය වී ඇති අතර මේ වන විට 770,000 ක් පමණ මියගොස් ඇත.

18) H1N1සූකර උණ වසංගතය (2009 - 2010)
මැක්සිකෝ නගරයෙන් ආරම්භ වූවක් වන අතර ලෝකය පුරා එය ව්‍යාප්ත වී ගිය අතර බිලියන 1.4 ක ජනතාවක් එමඟින් ආසාධනයට ලක් වූ අතර 151,700 සිට 575,400 අතර සංඛ්‍යාවක් මියගොස් ඇත.

19) බටහිර අප්‍රිකානු ඉබෝලා :(Ebola)වසංගතය (2014 - 2016)
ආසාධිතයින් 28,600 ක් වන අතර 11,325 ක් මියගොස් ඇත.

20) ෂිකා වෛරස් :(Zika) වසංගතය - 2015 සිට
දකුණු ඇමරිකාව හා මධ්‍යම ඇමරිකාවෙන් ආරම්භ වූවක් වන අතර මෙමඟින් ප්‍රභල හානිය වන්නේ ළදරුවන්ටය.

ඉහතින් දැක්වූ ප්‍රධාන වසංගත තත්ත්වයන්ට අමතරව අද වන විට ලෝකයේ බොහෝමයක් රටවල පැතිර පවතින ඩෙංගු වසංගතය ද මේ වන විට අපට ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමිකර ඇත. අප මෙම රෝගී වසංගතය ගැන දැන් වැඩිපුර කථා කරන්නේ නැත. එයට හේතුව මේ කොඩිව් - 19 වසංගත තත්ත්වයයි. නමුත් ඔබ දන්නවාද අද වන විට ඩෙංගු ආසාධිතයින් මිලියන 390 ක් හඳුනාගෙන ඇති බවත් ඉන් 500,000 පමණ සංඛ්‍යාවක් ඉතා ආසාධ්‍යය බවත් වාර්ෂිකව 25,000 ක පමණ සංඛ්‍යාවක් ඉන් මිය යන බවත්?

මේ වන විට කොවිඩ් - 19 හි ආසාධිතයින් සංඛ්‍යාව 308,564 ක් වන අතර මියගොස් ඇති සංඛ්‍යාව 13,069 ක් වේ. ඉන් 53,578 ක් ආසාධිතයින් ඉතාලියෙන් හමුවන අතර මේ වන විට කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව ඉතාලිය තුළ පමණක් 4,825 ක් බවට ඉතාලිය වාර්තා කරයි. එසේ නම් දැන් රටක් ලෙස අපට මුහුණ දිය යුතු ප්‍රධාන අභියෝගයන් දෙකක් ඇත. එනම් කොරෝනා වසංගත තත්ත්වය මැඩ පවත්වා ගැනීම හා ඉන් සිදුවන ජීවිත හානි අවම කරගැනීමත්, මේ වන විට අපගේ අවධානයෙන් මිදී ඇති ඩෙංගු වසංගතය ගැන තවදුරටත් වැඩි සැලකිල්ලක් දැක්වීමත්ය. නැතහොත් අපට ඉතා නුදුරේදිම ඉතා විශාල ආර්ථීක අගතියකට ලක්වීමට සිදු වනු ඇත.

මේ දිනවල ඔබට නිවෙස්වල රැඳී සිටින කාලය තුළ කොවිඩ් - 19 ව්‍යාප්ත වීම වැළැක්වීමට ආධාර අනුබල දෙන අතරම ඔබ නිවස තුළ නිදහසේ ජීවත් වන කාලය තුළ දැන් ඔබට දෙවන ගැටළුවට පිළිතුරු ලබාදිය හැක. එසේ නම් ඉදිරි වර්ෂාවත් සමඟ පැතිර යා හැකි ඩෙංගු වසංගතය තුරන් කර ගැනීමට ඔබට දැන් කාලය එළඹ ඇත. සෑම දිනකම ඔබ ජීවත් වන නිවස හා ඔබ ජීවත් වන ප්‍රදේශය තුළ ජලය එකතු විය හැකි ස්ථානයන් ඉවත් කර ගන්න. එකතු වී ඇති කැලිකසල ඉවත් කරගන්න. නිවස අවට පරිසරය පිරිසිදුව තබා ගන්න. ඉන් ඔබට ඩෙංගු වසංගතයෙන් ගැළවීමට මං පෑදෙනු ඇත.

මෙවැනි දුර්විපාකයක් විවිධ වකවානුන් තුළදී ලෝකය පුරා ඉස්මතු වුවද, මානවයන් ලෙස අප එයට මුහුණ දුනි. විවිධ වකවානුන් තුළ එසේ ඉස්මතු වූ වසංගතයන් අප කෙසේ හෝ මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදි. ඉතින් මෙම කොවිඩ් - 19 වලට ද අප සාර්ථකව මුහුණ දිය යුතුය. ඒ සඳහා අදිටන් කරගත යුතුය. අද වන විට රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම ගෙන මෙය මැඩලීමට කටයුතු සූදානම් කර ඇත. එහිදී මුහුණ පෑමට ලක්වන යම් යම් බාධකයන් අපට ද බාරගත යුතුව ඇත. රටක් ලෙස අද වන විට ශ්‍රී ලංකාව කොවිඩ් - 19 පැරදවීමේ මෙහෙයුමේ ප්‍රමුඛයන් වී ඇත. අපගේ වීරෝධාර හමුදාව ඒ සඳහා වෛද්‍යවරුන් සමඟ කරට කර වැඩකරයි. සමහර නූගතුන් ඒවා හෙලා දැක්කද සමස්ථ ජනතාවට එසේ නොවන බව අප කවුරුත් දන්නා කරුණකි.

කොවිඩ් - 19 ගැන කථා කරන ගමන් අපට ඉදිරියේ දී මුහුණ දීමට වන තවත් ව්‍යසනයන් කිහිපයක් ද පවතී. එනම් අධික ගංවතුර තර්ජන හා එමඟින් ප්‍රතිඵල වන නාය යෑම් වැනි තත්ත්වයන්ය. එසේම ලොව ප්‍රකට අනාවැකිකරුවන් විසින් පළකරනු ලබන අදහස් ද අප සැලකිල්ලට ගෙන කටයුතු කළහොත් අපගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නැංවීමට එතරම් අපහසු නොවේ. එම අනාවැකිකරුවන්ගේ ප්‍රධානතම මතයක් වී ඇත්තේ 2020 තුළදී ලොව දරුණුම 'සුනාමිය' ඇතිවන බවයි. මේවා සියල්ල ස්වභාවික ව්‍යසනයන්ය.

පරිණාමයේ පියා ලෙස සළකන චාර්ල්ස් ඩාවින්ගේ ස්වභාවික වරණ වාදය සත්‍යයක් බව අප සැවොම පසක් කරගත යුතුය. ස්වභාවිකවරණය මඟින් උචිතයන් ඉතුරු කර අනුචිතයන් ලොවින් තුරන් කරනු ඇත. එමඟින් පාරිසරික සමතුලිතතාවය තබාගනී. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමඟම අපට ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයට අභියෝග කළ හැකිව ඇත. අප අද සිදුකරන්නේ එවැන්නක් වේ. මානවයන් ලෙස ලොව බුද්ධිමත්ව සත්ත්වයන් බවට පත් වූ අප විවිධ ක්‍රියාකාරකම් මඟින් මෙම ස්වභාවික ව්‍යවසනයන්ද මැඩීමට උත්සාහ ගනු ඇත. 'සුනාමියක්' ඇති වුවහොත් එය රටක ආර්ථීකව නැවතත් ඉතාමත්ම පහළට ඇද දමනු ඇත. එසේ නොවීමට නම් 'පෙර සූදානම' ඉතාමත්ව වැදගත් වේ.

එසේ නම් අප කළ යුත්තේ සුනාමියෙන් හානිවිය හැකි අපගේ ආර්ථීක මර්මස්ථානයන් හැකි පමණ ආරක්ෂා කරගැනීමය. සුනාමියක් මඟින් හානි විය හැකි ප්‍රදේශවල පවතින එවැනි මර්මස්ථානයන් ප්‍රථමයෙන් හඳුනාගත යුතුය. ජාතික කෞතුකාගාරය, සත්ත්වෝද්‍යානය, ජාතික ලේඛණාගාරය, සංස්කෘතික උරුමයන් යන සියල්ල පිළිබඳ අප වැඩි අවධානයක් ලබාදිය යුතුය. රටක ආර්ථිකය සඳහා සංචාරක කර්මාන්තයද මහගු සේවයක් ඉටුකරනු ලබයි. ඉතින් ඉහත කී මර්මස්ථානයන් නැරඹීමට පැමිණෙන විදේශකයින් සඳහා හා අපගේ උරුමයන් මතු පරපුරට රැක දීමට අප ක්‍රියා කළ යුතුය. අප සතු අපගේ උරුමයන් නැවතත් අපට ඇති කළ නොහැක. එසේ නම් අප කවුරුත් ඒකාවන්ව ජාතික ව්‍යසනයන්ට මුහුණ දීමට පෙරගමන්කරුවන් විය යුතුය. ව්‍යවසනයක් වූ පසු ආධාර උපකාර දී වැඩක් නැත. එය සිදුවීමට ප්‍රථම අප එයට ප්‍රතිකාර කළහොත් විනාශ වී යා හැකි ප්‍රාග්ධනය විශාල ප්‍රමාණයක් අපට ඉතුරු කරගත හැක.

ඔබ අතර විශිෂ්ටයන් ඇත. දක්ෂයෝ ඇත. බුද්ධිමතුන් ඇත. ඉතින් දැන් අප සැවොම එකට එක්වී අපගේ සෞභාග්‍යයේ දැක්ම සිහිනයක් නොකර සත්‍යයක් කරගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට සහාය දක්වමු. එතුමාට ශක්තියක් වී ගොඩනඟමු අපගේ දේශය.
 

නව අදහස දක්වන්න