කොරෝනා වසංගතයේ භීතියෙන් ලෝක රග්බි ක්‍රීඩාව උඩුයටිකුරු වෙයි | දිනමිණ


 

කොරෝනා වසංගතයේ භීතියෙන් ලෝක රග්බි ක්‍රීඩාව උඩුයටිකුරු වෙයි

ෆවුස් මොහොමඩ්

කොරෝනා වසංගතය ලොවම ආක්‍රමණය කිරීමත් සමග රග්බි ක්‍රීඩා තරගාවලි රැසක්ම කල් දැමීමට ජගත් රග්බි සම්මේලනය තීරණය කර ඇත. විශිෂ්ට රග්බි තරගාවලි රැසක්ම නව වසරේ රග්බි කැලන්ඩරයට ඇතුළත්ව තිබුණු අතර කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය මුහුණ පෑ අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් ලෝක රග්බි සම්මේලනය මේ පියවර ගෙන තිබේ.

ඒ අනුව ලන්ඩන් නුවර සහ පැරිස් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ලෝක රග්බි තරග බිමේ ප්‍රමුඛතම සත් සාමාජික තරගාවලිය වන එච්.එස්.බී.සී. ලෝක සත් සාමාජික රග්බි තරගමාලාව ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දමා ඇති අතර ඊට සමගාමිව පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කාන්තා සත් සාමාජික රග්බි තරගමාලාව ද වසර අවසානය දක්වා කල් දමා තිබේ. මීට අමතරව වසර 2021 සහ 2023 ලෝක කුසලාන තරගමාලා සඳහා කණ්ඩායම් තෝරා ගැනීමට මේ වසරේදී පැවැත්වීමට සැලසුම් කළ කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි ද කල් දැමීමට සිදුවී තිබේ.

මීට අමතරව ජූනි මාසයේ ඉතාලියේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබුණු අවුරුදු 20න් පහළ ලෝක ශුරතා රග්බි තරගාවලිය අවලංගු කර ඇති අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා කල් යාම හේතුවෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලි සියල්ල අත්හැර දැමීමට ද සිදුවී තිබේ.

ලෝක රග්බි සම්මේලනයේ උපදෙස් මත ආසියානු රග්බි සංගමයත් මේ වසරේ මුල් භාගයේ පැවැත්වීමට සැලසුම් කළ සියළු තරගාවලි සහ වැඩමුළු අවලංගු කර තිබේ. ආසියානු රග්බි සංගම් තරග කාලසටහනට අනුව ලබන අගෝස්තු මාසය දක්වා ආසියානු රග්බි ක්ෂේත්‍රය තුළ කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොවේ. ආසියානු රග්බි සංගමයේ ක්‍රියාකාරීත්වය යළි සළකා බැලීමේ විශේෂ විධායක කමිටු රැස්වීම ලබන ජූලි මස 27 සහ 28 දෙදින පැවැත්වීමෙන් පසුව ඉදිරි වැඩකටයුතු සැලසුම් කරනු ඇත.

 

නව අදහස දක්වන්න